siripura-death-ruwan-prasanna

වස වර්ගයක් පානය කර සියදිවි හානිකරගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති දේශකයාගේ අවමංගල උත්සවයට සහභාගි වීමෙන් පසු වසබී රෝහල්ගත කෙරුණු දිඹුලාගල සිරිපුර අංක 31 පළුදෙනිය ලිපිනයේ පුද්ගලයා 2017 වසරේ සිට ගුණරත්න නමැත්තාගේ දේශන විස්සකට පමණ සහභාගිවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි සිරිපුර පොලිසිය කියයි.

වස පානය කිරීමෙන් අසාධ්‍යව දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ උනප්පුවේ ගෙදර ශසිඳු අමල්ක විමලරත්න නමැති විසිහය වියැති මෙම එක්දරු පියා මේ වනවිට සුවය ලබා නිවෙසට පැමිණ සිටී.ඔහු 2017 වසරේ සිට මේ දක්වා රුවන් ප්‍රසන්ත ගුණරත්න නමැත්තාගේ දේශන විස්සකට පමණ සහභාගී වූ බවට ඔහු විසින් පිළිගෙන තිබෙන බවද, සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජි නෙත්තසූරිය මහතා පැවසීය.

ඔහු වස පානය කර ඇත්තේ දේශන අසා සෝවාන්වීමට නොව ආර්ථික තත්ත්වය උසුලා ගැනීමට නොහැකිවීම නිසා බව වස බී සිටි පුද්ගලයාගේ පියා හා බිරිඳ පොලිසියට ප්‍රකාශ කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙහිඅත්තකන්ඩිය පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකුට අයත් නිවෙසක වසර හයක පමණ කාලයක් කුලී පදනම මත නවාතැන් ගෙන සිටි කාලයේ පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ පවා දේශනවලට සහභාගිවී ඇති බවට හෙළිදරව්ව ඇති බව සිරිපුර පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

රුවන් ප්‍රසන්න ගුණරත්න ගුණරත්න නමැත්තාගේ ආගමික දර්ශනය පිළිබඳ දේශන කිහිපයකට සහභාගිවූ පවුල් කිහිපයක් සිරිපුර ප්‍රදේශයේ සිටින බවට හඳුනාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි. රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී උග්‍ර වස වර්ගයක්, භාවිත කර සියදිවි හානි කරගෙන තිබුණේ ඉකුත් 28 වැනිදාය. ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනාද එලෙසම සියදිවි හානි කරගෙන  තිබිණි.
  නිමල් ජයරත්න