solder-arrested-kesbewa

සක්‍රීය යුද හමුදා සේවයේ යෙදී සිටිමින් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධතා පැවැත් වූ බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහ අටයි මිලිග්‍රෑම් හාරසිය හැත්තෑවක් සමග අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළකු ලබන (28) දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (22) නියෝග කළේය.



මෙම නියෝගය නිකුත් කළේ පොල්ගස්ඕවිට, කහතුඩුව, උස්වත්ත පාර, අංක 70 හි පදිංචි කංකානම්ගේ රසංග ලලිඳු කුමාර නමැති (37) හැවිරිදි ශ්‍රී ලංකා යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකි. ඉකුත් 2023 වසරේ ජුනි මස 21 දින කොස්ගොඩ විජිත් මහේන්ද්‍ර ද සිල්වා නොහොත් රන්මල්ලි ඝාතනය සහ මෙම මස 18 වැනිදා බලපිටිය ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනයට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත නිලධාරී කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශනයක් සිදුකර තිබුණි.



ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ විශේෂ කාර්ය බළකායේ උතුරු පළාත් විමර්ශන නිලධාරී කණ්ඩායමට තොරතුරු අනාවරණය වී තිබුණේ දැනට සක්‍රීය යුද හමුදා සේවයේ නිරත මෙම පුද්ගලයා එම ඝාතන සඳහා සෘජුවම සම්බන්ධතා පවත්වා ඇති බවයි.

ඒ අනුව විශේෂ කාර්යය බළකායේ නිලධාරී කණ්ඩායමක් කහතුඩුව උස්වත්ත ප්‍රදේශයේදී සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 මිලිග්‍රෑම් 470, යුද හමුදා නිල ඇඳුම් තොගයක් සමග (21) දා අත්අඩංගුවට ගෙන තිබුණී.

මොහු යුද හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටිමින් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කොස්ගොඩ ලොකු පැටී යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙම ඝාතන සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.



එසේම බලපිටිය ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරු පැදියකින් යමින් සිටි යුද හමුදා සෙබළා මෙහෙයවා ඇත්තේ මෙම සැකකරු බවටත් කොස්ගොඩ රන් මල්ලි ඝාතනයේ වෙඩික්කරු ලෙසට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි.

ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ සැකකරු පෙරේදා (22) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

ඒ අනුව සැකකරු ලබන 28 දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර දී තිබේ. කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ උපදෙස් මත පො.කො (92440) චාමර නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූහ.
   මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න