south korea opposition chief stabbed in neck

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියැං පිහි ප්‍රහාරයකට ලක්වී ඊයේ (2) රෝහල්ගත කරනු ලැබීය.විපක්ෂ නායකවරයා මෙසේ පිහි ප්‍රහාරයට ලක්වූයේ, බූසාන් වරාය නගරයේ ඉදිවන ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට මාධ්‍යවේදීන් ද පිරිසක් සමඟ ගිය අවස්ථාවේදීය. පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ මාධ්‍යවේදීන් අතරේ සිටි පුද්ගලයෙකි.



ලී ජේ මියැංගේ ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී ප්‍රහාරකයා අල්ලාගෙන ඇත.ප්‍රහාරකයා බූසාන් නුවර පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අවුරුදු 50ත් 60ත් අතර අයකු බව පොලිසිය පැවැසීය. ඔහු විපක්ෂ නායකයාට පිහි ප්‍රහාරය කළේ ඇයි දැයි විමර්ශන පවත්වන බව එරට පොලිසිය පවසයි.ලී ජේ මියැං ට පිහි ප්‍රහාරය එල්ල වන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වූ අතර,එම දසුන් සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත්විය.

හෙලිකොප්ටරයක් ගෙන්වාගෙන ලී ජේ මියැං කඩිනමින් සෝල් අගනුවර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. වෛද්‍යවරුන් කඩිනමින් ලී ජේ මියැං සැත්කමකට ලක් කළ බව ද පැවැසිණි.

පනස් නව හැවිරිදි ලී ජේ මියැං නායකත්වය දෙන්නේ දකුණු කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය. ලී ජේ මියැං, දැනට කොරියානු ව්‍යවස්ථාදායක සභාවේ (පාර්ලිමේන්තුවේ) සාමාජිකයකු නොවන නමුත්, මෙම 2024 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී ඔහු අසුනක් වෙනුවෙන් තරග වැදීමට නියමිතය. ලී ජේ මියැං 2022 වසරේ පැවැති ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වුවත් ඔහු ඉන් පරාජයට පත් වූයේ සියයට 0.73 ක සුළු ඡන්ද ප්‍රතිශතයකිනි.  දකුණු කොරියාවේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2027 වසරේදීය. ලී ජේ මියැං, ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව ද පැවැසෙයි.