thailand-lithium-mine

තායිලන්තයේ දකුණු දිග පිහිටි ෆාන්ග් න්ගා පළාතේ තිබී ටොන් මිලියන 15කට ආසන්න ප්‍රමාණයකින් යුත් ලිතියම් සංචිතයක් හමුවී ඇතැයි වාර්තා වෙයි. මෙහි වටිනාකම ඩොලර් මිලියන 150ක් පමණ වෙයි. අද වනවිට  මෙම ලිතියම් වැඩි වශයෙන්ම භාවිතා කෙරෙන්නේ විදුලියෙන් ක්‍රියාත්මක කෙරෙන මෝටර් රථ සදහා අවශ්‍ය බැටරි නිෂ්පාදනය වෙනුවෙනි.ඒ අනුව මෙම හමුවීම ලොව විදුලි මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ආසියානු කලාපය වෙත වැඩි වාසි අත්කරදීමක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. මෙම මෝටර් රථ බැටරිවලට අමතරව ජංගම දුරකථන බැටරි සඳහාද ලිතියම් යොදා ගනී.



වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම ලිතියම් සංචිතය හමුවීමත් සමගින්ම එය එතෙක් මෙතෙක් ලොව ඇති තෙවැනි විශාලතම ලිතියම් සංචිතය බවටද එක්ව තිබේ. මේ දක්වා ලොව විශාලතම ලිතියම් සංචිතයන් පවතින රටවල් වන්නේ බොලිවියාව සහ ආර්ජන්ටිනාවයි. කෙසේ වෙතත් තායිලන්තයෙන් සොයා ගත් මෙම ලිතියම් සංචිතයෙන් කොපමණ ප්‍රමාණයක් වාණිජ අරමුණු වෙනුවෙන් යොදාගත හැකිද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති තායිලන්ත රජයේ ප්‍රකාශකවරයා, බෙදී වෙන්වුණු එකිනෙකට වෙනස් ස්ථාන දෙකදී මෙම ලිතියම් සංචිතය සොයා ගැනුණු බව පවසා තිබේ. ඒ අනුව මෙය හොද ප්‍රවෘත්තියක් බවත්, මෙය විදුලි මෝටර් රථ බැටරි නිෂ්පාදනයේදී තායිලන්තයට වැඩි වාසි අත්කර දෙනු ඇතැයි ඔහු පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට චීනයේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක්ම දැනටමත් තායිලන්තය තුළ සිය නිෂ්පාදන කටයුතු ඇරඹීම සඳහා ඩොලර් මිලියන 64ක ආයෝජන සිදු කිරීමට කැමැත්ත පළ කර තිබේ.

වර්තමානයේදී ලොව තුළ මෙම ලිතියම් සදහා ඉහළ ඉල්ලුමක් පවතී. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුවද මෙම ලිතියම් යනු ෆොසිල ඉන්ධනවලින් තොර අනාගත ආර්ථිකය දරා සිටින කුලුනකි.