thaipongal-day
අද ජනවාරි 15 හින්දු භක්තිකයින් සමරන තෛපොංගල් දිනයයි.

දකුණු ඉන්දීය මාස නම් කිරීමේ ක්‍රමය අනුව වසරේ පළමුවන මාසය හැඳින්වෙන්නේ 'තෛ' නමිනි. සෑම වසරක ම පළමුවන මාසය වන ජනවාරි මාසයේ යෙදෙන තෛපොංගල් උත්සවය හින්දු බැතිමතුන්ගේ හිරු දෙවියන් නමදින උත්සවයකි.

සාමාන්‍යයෙන් හින්දුන්ගේ සෑම උළෙලක් ම පවත්වනු ලබන්නේ කිසියම්  දේවාත්මයක් වෙනුවෙනි. ශිව, විෂ්ණු, කාර්තිකේය, ගණ, ලක්ෂමි, පත්තිනි වැනි ඇදහීමක් එයට මුල් වෙයි. තෙපිංගල් උත්සවයේ ප්‍රධාන අරමුණ වන්නේ හිරු දෙවියන් හෙවත් සූර්යයාට ගෞරවාදරය දැක්වීම සඳහා එය පැවත්වීම ය..  හිරු ඇදහීමේ චාරිත්‍රය ආරම්භය ඈත අතීතය දක්වා දිව යන චාරිත්‍රයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ දී මිනිසා ප්‍රධාන වශයෙන් ම අදහනු ලැබූවන් අතර හිරු ඇදහීම ප්‍රධාන එකක්ව තිබූ බවට පුරාවිද්‍යා  සාධක හමු වී තිබේ.

නියෝලිතික යුගයේ සාධක ලෙස ලැබී ඇති මැටි භාණ්ඩවල කැබලි මත සූර්ය සංකේත කොටා තිබීමෙන් එම යුගයේ දී පවා සූර්ය වන්දනය මිනිසා අතර පැතිර තිබුණු බව තහවුරු  වෙයි. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසා තැබූ සටහන් පවතින තන්තිරිමලේ ගුහා සිත්තම් අතර හිරුගේ රූප කොටා තිබීමෙන් ලංකාවේ සිටි ඉතා පැරණි මිනිසුන් ද සූර්යයා ඇදහු බවට තහවුරු වෙයි. ගස්, ගල්, සුළඟ, පර්වත, වැස්ස වැනි පරිසර වස්තු යන බලවේග දෙවියන් ලෙස සැලකූ යුගයටත් පෙර සිට සූර්යයාට  දෙවියෙකු ලෙස වැඳුම් පිදුම් කිරීම මිනිසා අතර පැතිර තිබුණු බව පෙනෙන්නට තිබේ. ඒ අනුව බලන කළ තෛපොංගල් උත්සවය යනු ඈත අතීතයේ පටන් විවිධ ජාතීන් සිදුකළ හිරු ඇදහීමේ චාරිත්‍රයේ තවත් එක පැතිකඩක් ලෙස දැක්විය හැකි ය.



විවිධ ශිෂ්ටාචාර සහ හිරු ඇදහීම

දුරාතීතයේ දී මිනිස් ශිෂ්ටාචාර ගොඩ නැගී ඇත්තේ ගංගා නිම්න ආශ්‍රිතව බව අපි දනිමු. ඊජිප්තුවේ නයිල් ගග සබඩ පිහිටි වර්තමාන ඊජිප්තුවේ එදා ගොඩනැගී තිබුණු පාරාවෝ ශිෂ්ඨාචාරය, යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගා ධාරයනට මැදිව  මෙසපොටේමියාව (දෙගංමැදි රාජ්‍යය) තුළ ගොඩනැගුණු සුමේරියානු ශිෂ්ටාචාරය චීනයේ හොවැංහෝ නදිය අසබඩ ෂැං රජ පරපුර පිහිටි යුගයේ ඇරඹුනු හොවැංහෝ ශිෂ්ටාචාරය, ඉන්දියාවේ සින්දු ගංගාධාරයෙහි මොහෙන්ජොදාරෝ හරප්පා නගර කේන්ද්‍ර කොට ගොඩ නැගුණු ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මීට හොඳ ම උදාහරණ වෙති.

මෙවැනි ශිෂ්ටාචාරයන් තුළ මෙන්ම ග්‍රීක, රෝම ආදී ශිෂ්ටාචාරය තුළ ද ඉන්කා, මායා වැනි ග්‍රෝතික ශිෂ්ටාචාර තුළ ද හිරු දෙවියන් ඇදහීමත් පුද පූජා පැවැත්වීමත් ඉතා ප්‍රබලව පැවතුණු බව පුරාවිද්‍යා සාධකවලින් තහවුරු කරගත හැකි වී ඇත.
ඉහත සඳහන්ව ඇති සෑම ශිෂ්ටාචාරයක ම පාහේ හිරු දෙවියන් වෙනුවෙන් දේවාල තනා තිබී ඇත. එම ශිෂ්ටාචාරයන්හි ඇති නටබුන් සමග හිරු දේවාලවල නටඹුන් ද දක්නට ඇත. බලි බිලි පුදමින් හිරු දෙවියන් වෙන්වෙන් පුද පූජාවන්  උත්සවාකාරයෙන් පැවැත්වීම මේ ස්ථානවල සිදු බවට සාධක ඇත. මිනිසුන් බිලි වශයෙන් පූජා කිරීම, සතුන් දහස් ගණනින් මරා හිරු දෙවියන් සතුටු කිරීමට මේ දොවොල්වල දී පූජා කිරීම සිදුකර ඇති බව ද පැහැදිළි කරුණකි. ඉකාවරු හිරු දෙවියන් සතුටු කිරිමට කන්‍යාවියන් පවා බිළි දුන් බව තහවුරු වී තිබේ.

ඔරිස්සාවේ කෝණාරක්හි පිහිටි සූර්ය දේවස්ථානය හිරු දෙවියන් වෙනුවෙන් ගොඩ නැගී තිබුණු අති විශාල කෝවිලකි. උසින් අඩි දෙසීයකටත් වඩා උසට සිටින සේ තනා තිබුණු මේ දේවාලයේ ඝන්ටාගාරය අද වනතුරුත් පවතියි. හිරු දෙවියන් ගමන් කරන මංගල රථයේ ආකාරයට මෙය ගොඩ නගා තිබී ඇත. හිරු දෙවියන් සශ්‍රීකත්වයට අධිපතියා ලෙස සැලකූ ඔවුන් මෙවැනි පුද  පූජාවන් කරමින් හිරු දෙවිඳුන්ගේ සරණ පතා සිටියේ හිරු දෙවිඳුන් ඔවුන්ගේ එකම ජීවනෝපාය වූ කෘෂි කර්මාන්තයේ පැවැත්මට බලපාන ප්‍රධාන සාධකය වීම ය. ඔවුන්ගේ එක ම බලාපොරොත්තුව වූයේ සශ්‍රීකත්වයයි. 

ඔවුන් තම ගහකොළ, හරකා බාන වර්ධනය කොට තමන්ට සශ්‍රීකත්වයත්, ආරක්ෂාවත් සලසා දෙන ලෙස හිරු දෙවිඳුන් ඇය ද සිටියේ ය.

ක්‍රිස්තු පූර්ව 3000 දක්වා ඈත කාලයේ දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දී භාරතයේ හිරු දෙවියන් ඇදහීම සිදුකළ බවට සාධක දක්නට ලැබෙන බැවින් තෛපොංගල් උත්සවයේ ආරම්භය ඒ යුගයේ දී සිදු වූ බව සැලකිය හැකි ය. ඒ අනුව බලන විට තෛපොංගල් යනු ඉන්දියාවේ පැරණිතම ආගමික උත්සව අතරින් එකක් ලෙස හැඳින්විය හැකි බව පෙනේ.

තෛපොංගල් උත්සවය හා හිරු ඇදහීමේ ඇත සම්බඳතාවය

මුල් කාලයේ දී තිබුණු හිරු ඇදහීමේ චාරිත්‍ර වාරිත සහ ක්‍රම වර්තමාන තෛපොංගල් උත්සවය දක්වා පැමිණීමේ දී පියවරෙන් පියවර ක්‍රමයෙන් වෙනස් වී ගෙන පැමිණ ඇති බව පෙනේ. එදා කන්‍යාවන්, රණකාමීන් වැනි මිනිස් බිලි සහ සත්ව බිලි පුද කරමින් හිරු වෙනුවෙන් කල පූජාවන් සහ චාරිත්‍රවාරිත්‍ර වෙනුවට අද හිංසනයෙන් තොර චාම් චාරිත්‍ර වාරිත්‍ර සහිත ආගමික මුහුණුවරක් ගත් උත්සවයක් ලෙසින් හිරු ඇදහීම කෙරේ. තෛපොංගල් උත්සවය මගින් හිරු දෙවියන් පිදීමට හේතු දෙකක් තිබේ. වසරක් තමන්ගේ ජීවනෝපාය සඳහා ශක්තිය සපයමින් බවබෝග සම්පත් දියුණු කර දෙමින් කළ සේවයට කෘත ගුණ පූර්වක ප්‍රණාමය පුද කිරීම එක් අරමුණකි. අනෙක් අරමුණ නම් හිරු දෙවිඳු සතුටු කොට නව වසරේදීත් පෙර වසරේ දී මෙන් තමන්ගේ කටයුතු  සාර්ථක කර ගනිමින් සශ්‍රීකත්වයත් සෞභාග්‍ය ලබා ගැනීම සඳහා  හිරු දෙවියන්ගේ පිහිට පතා සිටීම ය.

චාරිත්‍ර සහ වාරිත්‍ර

තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අරමුණ වන්නේ කළගුණ සැලකීමයි. හින්දු බැතිමත්හු තෛපොංගල් උත්සවය සඳහා දින ගණනක සිට ම සූදානම් වෙති. ගේ දොර පවිත්‍ර කරති. අලුතෙන් නිවසට ගොම මැටි ගාති. නිවසේ අඩු පාඩු සම්පුර්ණ කර නව මුහුණුවරක් ගෙන දෙති. තෛපොංගල් උත්සවයේ දී කලගුණ සැලකීමක් වශයෙන් ශිව දෙවිඳුන්ගේ වාහනය ලෙස ද සැලකෙන ගවයා  තම ජීවනෝපාය සරි කර ගැන්මේ ආධාරකරුවකු ලෙස රෝම තමන්ට සමාන වූ ගෞරවනීය කොටස්කරුවකු ලෙස සැලකීම ඔවුන්ගේ සිරිතකි. තෛපොංගල්  උත්සවයේ දී ගවයා සුවිශේෂ අවධානයටත් ගෞරවයටත් පාත්‍ර වන්නේ එබැවිනි.

තෛපොංගල්  දිනයේ දී උදෙන් ම අවදිවෙන හින්දු භක්තිකයන් ස්නානය කොට පිරිසිදු වී සිය නිවස ද පවිත්‍ර කරයි. ඉන්පසු හිරු දෙවියන්ට තම නිවසට පැමිණෙන ලෙස ආරාධනා කිරිම සඳහා වර්ණවත් කළ සහල් පිටි, කහ කුඩු වැනි අලංකාරවත් ද්‍රව්‍ය යොදා ගනිමින් සුදුසු ස්ථානයක කෝලම්' නම් විචිත්‍රවත් රටා පොළව මත නිර්මාණය කරති. මෙම රටාව මැද පුන්කලසකුත් සහ පොල් තෙල් පහන් ද තබති. පුන්කලස තැබීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ සියලු යස ඉසුරු ළගාවීම සංකේතවත් කිරීමට ය.

පොල්තෙල් පහන්වලින් නිවසේ සියලු දුක් දෝෂාන්ධකාරයන් නිමා වී, ශ‍්‍රීකත්වය නිවසට ළගා කරගැනීම අරමුණු කරගනු ලබන අතර නිවස ට නව ආලෝකයක් ලැබීම ද ප්‍රාර්ථනා කරයි.

තෛපොංගල් දිනයේ ඇති සුවිශේෂ ම නැකත වන්නේ හිරු උදාවන මොහොත යි. ඒ මොහොතෙහි නිවසෙහි දොරටුව අසල නැගෙනහිර දෙසට මුහුණලා තැනු ලිපක් මත කිරි ඉතිරවීම සිදු කරයි.  පිංගල් බත ඉවීම චාරිත්‍රවාරිත්‍ර අතර සුවිශේෂ වූවකි. තල, මුං, හකුරු, සූකිරි සහ එළකිරි යොදා ඉතා රසවත්ව පිස ගන්නා මෙම බත සකස් කරනු ලබන්නේ නිවසින් පිටත දී ය. වසරක් පුරා හිරු දෙවිඳුන් තමන්ට දැක්වූ අනුග්‍රහයට කලගුණ සැලකීමක් ලෙස හිරු දෙවිඳුන්ට මෙම කිරි ආහාරය ප්‍රමුඛ කොට පුද පූජා පැවැත්වීම මෙහිදී සිදු වෙයි.  කෘෂිකාර්මික ජනතාවගේ දියුණුවත්, පැවත්මත් උදෙසා සාමය, සමගිය, අත්‍යවශ්‍ය වූ සාධකයකි. එබැවින් තෛපොංගල් සැමරීම නෑදෑ හිත මිතුරු අසල්වාසීන් සමග සබඳතා දැඩි කර ගැනීමේ චාරිත්‍ර වාරිත්‍ර ලෙස සැලකිය හැකි ය. කෘෂිකර්මය ජීවනෝපාය කර ගත් හින්දු සමාජය තුළ සබඳතා වර්ධනය වීමට හේතු වන ආකාරයේ විවිධ චාරිත්‍රයන් මෙම තෛපොංගල් උත්සව චාරිත්‍ර වාරිත්‍ර තුළ පැහැදිළිව ම දක්නට ලැබේ.

හිරු වෙනුඹෙන් පරිත්‍ර ඉටු කිරිම තෛපොංගල් දිනයේ  ප්‍රධානත්වයක් දරන අතර 'මාඩු පෞගල් ලෙස හැඳින්වෙන දෙවන දිනය වෙන් වන්නේ ගවයින් වෙනුවෙන් තම ආදරය සහ යුතුකම් ඉටු කිරීම වෙනුවෙනි. ඒ කෘෂිකර්මය වෙනුවෙන් ගවයා විසින් කරන ලද සේවය ඇගයීමට ය.  ගවයා දේවත්වයෙන් පුදන හින්දු සමාජය තුළ තෛපොංගල් උත්සවය සුවිශේෂ දිනයක් වන්නේ ගවයිනට කලගුණ සලකා යුතුකම් ඉටුකෙරෙන චාරිත්‍ර වාරිත්‍ර වතාවන්ට බඳුන්වන උත්සව දිනය මෙය බැවිනි. මේ දිනයේ දී ගව ගාල පිරිසිදු කිරීම සැරසිලි කිරීම වැනි කටයුතු ද දක්නට ලැබේ. මුලින්ම ගවයින් හොඳට නාවා පිරිසිදු කර මල් මාලා කිංකිණි ආදියෙන් විචිත්‍රවත් ලෙස සරසවයි. පිරිසිදු කළ ගව ගාල මැද තල, කජු ආදියෙන් රසවත් කළ පෝෂණීය කිරි බතක් හා රස කැවිලි ආදී ආහාර පාන ගවයන්ට වැළඳවීම ද මෙදින ඉටු කෙරෙන ප්‍රධාන චාරිත්‍රයක් වේ. ඉන්පසු ආහාර පාන වළඳවා නිදහස් කරනු ලැබේ. තෛපොංගල් චාරිත්‍ර වාරිත්‍රවල මූලික අරමුණ වන්නේ සිය ජීවනෝපාය සඳහා තමන්ට ස්වභාව ධර්මයෙන් අනුග්‍රහ දැක් වූ හිරු දෙවියන්ට ද, තම කටයුතු සඳහා උදව්පදව් කළ නෑදෑ හිත මිතුරු අසල්වාසිනට ද, තම කෘෂිකාර්මික කටයුතු සඳහා මිලක් නොඉල්ලා දායක වූ ගවයාට ද සිය යුතුකම් ඉටු කොට කළ ගුණ දක්වා ඔවුන් තෘප්තිමත් කොට සිත් පහදවා ආශිර්වාදය ලබා ගැනීමත් එහි ප්‍රතිඵලය වශයෙන් ලැබූ නව වසරේදී සිය කටයුතු සාර්ථක වී සෞභාග්‍යයත් සශ්‍රීකත්වයත් හිමි කර ගැනීමට අවස්ථාව සලසා ගැනීමත් වේ.