tik-tok-bike-accident

ටික්ටොක් දැමීම සඳහා ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනකු හොරණ කෝරලඉම ප්‍රදේශයේ දී මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ බව මොරගහහේන පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූවෝ වෑතර දිසා රෝහල වෙත ඇතුළත් කර සිටිති.



සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු යතුරුපැදි තුනක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් තරුණයකු යතුරුපැදියක් සමග පලා ගොස් ඇත. තලංගම ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනකු යතුරුපැදි හතරකින් කොළඹ දෙස සිට හොරණ දෙසට යතුරුපැදි ධාවනය කරමින් පැමිණීමේදී අනතුරට පත් වූ යතුරුපැදියේ දෙදෙනා ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදි තුන ගමන් ගන්නා අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පසුපස ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් තරුණයෝ අන්තරාදායක රිය පැදවීම යටතේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.

 බිමල් ශශ්‍යාමන් ජයසිංහ