tin-from-february1
ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10ක ගණනක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ගණනක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර ඍජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.




බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියෙකු යන්න දියුණු රටවල පිළිගැනීම බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙරට ජනතාව ද එවැනි ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම රටේ සංවර්ධනය සඳහා ඉවහල් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළේල, ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් අද (ජන. 8) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වන දා සිට ආරම්භ කිරීමට සූදානමක් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ ද පැවසීය.



“TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වන දා සිට ආරම්භ කිරීමට අප සූදානම් වනවා. දැනට එහි ලියාපදිංචි වීමේදී ගැටලු පවතිනවා. එම ගැටලු ද ජනතාවට මෙය අලුත් අත්දැකීමක් වී ඇති නිසයි. ඒ නිසා එම ගැටලු විසඳීමට අප ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මැදිහත්වීමක් සිදුකිරීමට සාකච්ඡා කරමින් සිටිනවා. එහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ එම කටයුත්ත සිදු කිරීම අපගේ බලාපොරොත්තුවයි. බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියෙකු ය යන්න දියුණු රටවල පිළිගැනීමයි. ජනතාව ද එවැනි ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම රට සංවර්ධනය සඳහා ගෙන යාමට වැදගත් වෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරනවා.”