train-reverse

කොළඹ කොටුව සිට මීරිගම බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් හුණුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය දක්වා සැතපුම් හතරක් පමණ පිටුපසට ධාවනය කිරීමට පෙරේදා (1 වනදා) සිදුවී තිබේ. පෞද්ගලික පිටි සමාගමකට භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රිය එන්ජිමක් සිය භාණ්ඩ සීදුව ප්‍රදේශයට රැගෙන ගොස් ආපසු මරදාන දෙසට පැමිණෙමින් සිට ඇත.

මෙම දුම්රිය දෙක එකම දුම්රිය මාර්ගයක ප්‍රතිවිරුද්ධ ලෙස ධාවනය වී ඇති බව දුම්රිය සංඥා මගින් පෙනී යාමත් සමග දුම්රිය දෙක එකිනෙක ගැටීමේ අවදානමකට ලක්ව ඇත.


මේ අතර කොළඹ කොටුවේ සිට මීරිගම දක්වා පෙරේදා රාත්‍රි 8.40ට ධාවනය වූ දුම්රිය හුණුපිටිය දුම්රිය ස්ථානයේ නවතා ගැනීමටත් එය හුණුපිටිය සිට මහ වාසල හා කැලණිය දුම්රිය ස්ථාන දක්වා සැතපුම් 4 ක් ආපසු ධාවනය කරවා වෙනත් මංතීරුවකට කැලණිය දුම්රිය ස්ථානයේ සිට මාරු කරවීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් පිටි ප්‍රවාහනය කර ආපසු පැමිණි එන්ජිම කොළඹ දෙසට ධාවනය කර ඇත්තේ අවිධිමත් ලෙසය. අදාළ එන්ජිම දුම්රිය මාර්ගයේ පයිට්ටු කිහිපයකටද හානි කර ධාවනය කරවා ඇත.


මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිවරයා (ධාවන) ජගත් ඉඳිපොළගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් දුම්රිය ගමනා ගමන අධිකාරීවරයා විසින් සිදු කරන බවත්ය.

ඉන්දුල කොස්වත්ත