unp-bribe

රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයකුගේ නම භාවිතා කර පැල්මඩුල්ල නගරයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හතර හමාරක මුදලක් කප්පම් ගත් අයෙක් රත්නපුර විශේෂ විමර්ශන පොලිස් ඒකකය අත් අඩංගුවට ගනු ලැබීය.

සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුද වන රත්නපුර දිස්ත්‍රික් එ.ජා.ප නායක හසිත මුහන්දිරම් මහතා තම නම භාවිතා කර අයුතු ක්‍රියා සිදු කරන බවට රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු රත්නපුර දිස්ත්‍රික් විශේෂ විමර්ශන පොලිස් ඒකකය ඒ ගැන

පරීක්ෂණ ආරම්භ කළේය. සැකකරු පැල්මඩුල්ල නගරයේ හාඩ්වෙයාර් ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔහුට මරණීය තර්ජන කර තමා හසිත මුහන්දිරම් ලෙස හඳුන්වමින් බැංකු ගිණුමකට මුදල් බැරකර ගෙන ඇතැයි විමර්ශනවලදී හෙළි විය.

මෙම සැකකරු සමග තවත් දෙදෙනකු මෙම කප්පම් මුදල් ලබා ගැනීමට සම්බන්ධ බවට පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

එක් සැකකරුවකු කොළඹ ප්‍රදේශයේදී මේ ආකාරයෙන් වෙනත් අයකුගේ නම භාවිතා කර කප්පම් ලබා ගැනීම ගැන අත්අඩංගුවට පත්ව ඇතැයි ද අනෙක් සැකකරු මේ වන විට විදේශගතවී ඇතැයි ද පොලිසිය පවසයි.

තමාගේ නම භාවිතා කර අවස්ථා කිපයකදී ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගැනීමට උත්සහා ගෙන ඇතැයි ද පැල්මඩුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇතැයි හෙළි වූ බවද මෙවැනි සිදුවීම් ගැන පොලිසියට දැනුම් දෙන ලෙස තමා ඉල්ලා සිටින බව ද රත්නපුර දිස්ත්‍රික් එ.ජා.ප නායක හසිත මුහන්දිරම් මහතා පැවසීය.

රත්නපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතා ගේ උපදෙස් අනුව පරීක්ෂණ සිදු කෙරේ.

   රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා