uragasmanhandiya-incident

ඌරගස්මංහන්දිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකට හවස් යාමයේ පැන අසූ දෙහැවිරිදි විවාහක ගෙහිමි කත බලහත්කාරයෙන් අපයෝජනය කළේ යයි වරදකරුවකු වූ අයෙකුට වසර විස්සක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (9දා) නියෝග කළේය.



මෙසේ සිර දඬුවම් හා දඩ මුදල් ගෙවීමට නියෝග කෙරුණේ ඌරගස්මංහන්දිය කුඩා ඌරගහ වාඩියවත්ත පදිංචි තොම්මයාහකුරු චන්දන කුමාර නොහොත් 'එබුවා' නමැත්තාටය.

මේ නියෝගය ලැබෙන විට විත්තිකරුගෙන් අපයෝජනය වූ අසූදෙහැවිරිදි කාන්තාව මියගොස් වසර තුනක් ඉක්මවා ගොස් තිබෙන බවද මහාධිකරණයේදී අනාවරණය විය. 2012 පෙබරාවාරි මස 9වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරු ඌරගස්මංහන්දිය රන්තොටුවිල පදිංචි අසූ දෙහැවිරිදි විවාහක ගෙහිමි කාන්තාව පමණක් නිවසේ රැදී සිටියදී එම නිවසට පැන ඇයව බලහත්කාරයෙන් අපයෝජනය කොට ඇතැයි කියමින් ඌරගස්මංහන්දිය පොලීසිය විසිඅට හැවිරිදි විත්තිකරුට එරෙහිව නඩු පවරන ලදි.



වසර 11ක දීර්ඝ නඩු විභාගයකින් පසු අසූ දෙහැවිරිදි කත විත්තිකරු අතින් අපයෝජනය වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් හා ලැබූ සාක්ෂි මගින් සැකයකින් තොරව ඔප්පුවේ යයි තීරණය කළ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විත්තිකරුට බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් දඩ මුදල් නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිර දඬුවමක් ලබා දෙන ලෙසත් නියෝග කළේය.

ඌරගස්මංහන්දිය පොලීසිය විසින් ගොනු කොට තිබූ මේ නඩුව රජයේ අධිනීතීඥවරියන් වන ඉසුරි ජයවර්ධන මහත්මිය හා හිරුණි අල්මේදා මෙනවිය විසින් මෙහෙයවූ අතර ඌරගස්මන්හන්දිය පොලීසියේ මහා අධිකරණ කටයුතු භාරව කටයුතු කරන උපපොලිස් පරීක්ෂක කේ.එම්.ජී. ප්‍රසන්න මහතා ඊට සහාය විය.

කරන්දෙණිය -එම්.සුසිල් ප්‍රියන්ත