v8-number-plate-issue

රුපියල් කෝටි අටකට අධික වටිනා (V8) අති සුඛෝපභෝගී ජීප් රථයකට ව්‍යාජ අංක තහඩු දෙකක් සවිකර ධාවනය කරමින් සිටි මහා පරිමාණ වාහන ජාවාරමකට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයකු බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ගයේ කොළඹ පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව ගැලනිගම අධිවේගී රථවාහන පොලිසිය කියයි.

පොලිස් බාරයට ගත් ජීප් රථයේ චැසි සහ එන්ජින් අංක මකා දමා තිබූ බවත් සැකකරු බාරයේ තිබී විවිධ වාහනවලට අයත් ලියාපදිංචි පොත් 10 ක් හා ලියාපදිංචි අංක තහඩු දෙකක් තම බාරයට ගත් බවත් පොලිසිය කීය. සුඛෝපභෝගී ජීප් රථය අධිවේගී පිවිසුම ආසන්නයේ පොලිස් නිලධාරීන් නැවතීමත් සමඟම සැකකරු පොලිස් නිලධාරීන්ට රුපියල් 150,000 ක් අල්ලස් ලබා දීමට උත්සාහ කළ බවද පොලිසිය සඳහන් කළේය.

හොරණ මාර්ගයේ සිට පැමිණ තිබූ සුඛෝපභෝගී ජිප් රථය කොළඹ පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීම සඳහා පැමිණීමේ දී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයාගේ අවධානය යොමු කිරීමේ දී

වාහනයේ ඉදිරිපස අංක තහඩුව ගැන සැකයක් ඇති වී තිබේ. වාහනය සිදුකළ පරීක්ෂාවේ දී එහි සවි කර ඇත්තේ වෙනත් වාහනයක අංක තහඩුවක් බවට මූලික විමර්ශනවල දී අනාවරණය වූ බවද පොලිසිය ප්‍රකාශ කළේය. ජීප් රථයේ චැසි හා එන්ජින් අංක ද ව්‍යාජ අයුරින් කොටා තිබූ බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.සැකකරු සන්තකයේ තිබූ වාහන ලියාපදිංචි පොත් 10ක් සම්බන්ධයෙන් සහ ලියාපදිංචි අංක තහඩු දෙක සම්බන්ධයෙන් ද දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ