vat-tax-factory-close

දේශීයව නිෂ්පාදනය කරන ටින්මාළුවලට අලුතින් සියයට 18ක වැට් බද්දක් පැනවීම නිසා නිෂ්පාදනය අතහැර මෙරට ටින්මාඵ කර්මාන්ත ශාලා 16ක් වසා දැමූ බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය කියයි.

මෙතෙක් ටින්මාළු සඳහා වැට්බද්ද ක්‍රියාත්මක නොවූ අතර ජනවාරි 01 වැනිදා සිට සියයට 18ක වැට් බද්දක් එකතුවීමෙන් ආනයනික ටින්මාළු වැට් බද්දෙන් නිදහස් කිරීමත් නිසා දේශීය කර්මාන්ත ශාලා වැසී ගිය බවද ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය.



මේ වනවිට දිනකට ශ්‍රී ලංකාවට මාළු ටින් එක්ලක්ෂ පනස් දහසක් පමණ අවශ්‍ය වන අතර දේශීය නිෂ්පාදකයන් මාළු ටින් ලක්ෂ 3ක් පමණ දිනකට නිපදවන බව ද ප්‍රනාන්දු මහතා කීය.

දේශීයව නිෂ්පාදනය කරන ටින්මාළුවල ටින් එකට, ලේබලයට සහ මාළුවලට හැම දෙයටම බදු අයකරන අතර ආනයනික ටින්මාළුවලට අයකරනුයේ මාළු ටින් එකකට රුපියල් 57ක් පමණකැයි ද ප්‍රනාන්දු මහතා පැවසීය.



ටින්මාළු කර්මාන්ත ශාලා වැසීයාම නිසා මෙරට ධීවර ප්‍රජාව අන්ත අසරණවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ආනයනික ටින්මාළු සඳහා දැනට අයකරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවට රුපියල් 200 සිට 500 දක්වා වැඩි කිරීම, ආනයනික ටින්මාළු සඳහා ද සියයට 18 ක වැට් බද්ද අයකිරීම, ඔවුන්ගෙන් මාළුවලට පමණක් නොව ටින් සඳහා ද බදු අයකිරීම මගින් දේශීය ටින්මාළු නිෂ්පාදකයන් ආරක්ෂා කරගත හැකි බවද ශිරාන් ප්‍රනාන්දු මහතා කීය.

මේ පිළිබඳව තම සංගමය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමග සාකච්ඡා කළ බවද ඔහු පැවසීය.

රංජන් කස්තුරි