vegetable-price-hike

මේ වනවිට වෙළෙඳපොළේ උඩරට හා පහතරට  එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධව මෙන්ම මේ වනවිට මෙරට එළවළු වගාවන් සම්බන්ධව පවතින තත්ත්වය සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (04) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් කරුණු විමසීමක් කළේය.



මාස කිහිපයක සිට දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට සියලු වගාවන්ට හානි සිදුවී ඇති බවත්, දැනට වෙළෙඳපළට ලැබෙමින් පවතින්නේ සීමිත එළවළු ප්‍රමාණයක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු අවධාරණය කළහ.



විශේෂයෙන් මහ කන්නයේ පුළුල් ලෙස එළවළු වගා කිරීමට ගොවී ජනතාව සුදානම්ව සිටියේය. එමෙන්ම ඇතැම් ගොවීන් මේ වනවිට කිහිප වතාවක්ම එළවළු බීජ රෝපණය කළ ද ඒ සියල්ලම වැස්සට හසු වී කුණු වී ගොස් ඇත. ඇතැම් ගොවීන් මේ වනවිට පස් වතාවක් හෝ හයවතාවක් පමණ එළවළු බීජ වගා කළ ද ඒ සියල්ල ද විනාශ වී තිබේ.

දැනට වෙළෙඳ පොළට ලැබෙන එළවළුවලින් විශාල ප්‍රමාණයක් ආරක්ෂිත ගෘහ තුළ වගා කරන ලද එළවළු වේ. එහෙත් එම ප්‍රමාණය රටේ සමස්ත එළවළු අවශ්‍යතාවයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.



එමෙන්ම එළවළු මිල ඉහළ යාමට අතරමැදියන් විසින් සිදු කරන බලපෑම් ද හේතු වී තිබේ.

මේ වනවිට වෙළෙඳපොළේ එළවළු මිල ඉහළ මට්ටමක පවතින බැවින් දෛනික එළවළු අපතේ යාම හා නාස්තිය ද විශාල වශයෙන් අවම වී ඇත. හොදින් අස්වනු ලැබෙන කාලය තුළ මෙරට සාමාන්‍ය එළවළු නාස්තිය සියයට 30-40 මට්ටමක පවතී. නමුත් මේ වනවිට එළවළු හිඟය නිසාත්, එළවළු සඳහා ඉහළ මිලක් පවතින නිසාත් ඒවා නාස්ති වීමට ඉඩ නොදී ආරක්ෂා කිරීමට ගොවීන් මෙන්ම අලෙවිකරුවන් ද විශාල උනන්දුවක් දක්වන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසීය.

ඉදිරි සති හයක කාලයක් තුළ මෙම තත්ත්වය වෙනස් විය හැකි අතර එවිට අලෙවි කර ගත නොහැකි තරම් විශාල එළවළු අස්වැන්නක් වෙළෙඳ පොළට ලැබෙනු ඇතැයි ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.



මේ අතර ඉදිරියේ දී එළවළු බීජ වෙනුවට එළවළු පැළ  සකස් කර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළාය. ඊට හේතුව ඇතැම් ගොවීන් එළවළු බීජ නිසි නිසි පරිදි පැළ නොවන බවට කරන ලද චෝදනා සැළකිල්ලට ගනිමින් බව ද ඒ මහත්මිය පැවසුවාය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම අංශ ප්‍රධාන නිලධාරිහු සහභාගි වී සිටියහ.


මාධ්‍ය ඒකකය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය.