vishwa-buddhi-muni-court

සුනඛයකුට සිවුරක් පෙරවීම ඇතුළු බුදු දහමට නිගා වන අයුරින් ‘ටික්ටොක්' වීඩියෝ අන්තර්ජාලයට මුදාහළ රත්නපුරේ විමලබුද්ධ නොහොත් ‘විශ්ව බුද්ධි මුනි' නමින් හඳුන්වාගත් චීවරධාරියා ලබන 9 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (2 වැනිදා)

නියෝග කළේය.සැකකරුට ඇප දිය හැකි ද නොහැකි ද යන්න පිළිබඳ නියෝගය එදින ඉදිරිපත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය. මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට සැකකරු බන්ධනාගාර රෝහලට ඉදිරිපත් කර සිටි හෙයින්, අධිකරණයට ඊයේ (2 වැනිදා) ඉදිරිපත් නොකළ අතර, ලබන 9 වැනිදා අධිකරණයට ඉදිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ, අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ආගම් අතර වෛරයක් ඇති වන පරිදි අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ සඳහන් වරදවල් කර නොමැති බවත්, ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි බවත්, සැකකාර චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවැසීය.

සම්පූර්ණයෙන් දෝෂ සහිත බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින්, එම කරුණු සලකා බලා ඇප දෙන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. යම් ප්‍රකාශයක් කළ පමණින් කිසියම් තැනැත්තකු අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීම පොලීසියේ කාර්යභාරය නොවිය යුතු බව පෙන්වා දුන් නීතිඥවරයා, අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ වගන්ති ප්‍රකාරව සැකකරු ප්‍රබල පුද්ගලයකු හෝ දේශපාලනඥයකු නොවන බවත්, ඔහු කිසියම් ජන සමාජයක මතය වෙනස් කිරීමේ හැකියාවක් ඇති පුද්ගලයකු නොවන බවත්, වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.

සජීවී වීඩියෝවකදී බණ දේශනා කරන අතරතුර ශ්‍රාවකයන් කුපිත කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් පැවැසීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හා පැමිණිලි තිබුණු බැවින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළ

මෙම සිද්ධිදාමය හා සැකකරු පසුපස කිසියම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වන බවත්,

සැකකරුගේ බැංකු ගිණුම් විමර්ශනය කිරීම තවදුරටත් සිදුවන බවත්, දුරකතන සහ පරිගණක උපාංග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවා ඇති හෙයින්, විමර්ශන අවසන් නොමැති බවත් පැවැසීය.සැකකරුගේ එක් බැංකු ගිණුමක රුපියල් ලක්ෂ විසි පහක් තැන්පත් වී තිබූ බවත් පැවැසූ රහස් පොලීසිය, තවත් පෞද්ගලික බැංකු ගිණුමක රුපියල් ලක්ෂ අටක් තැන්පත් කර තිබූ බවත් සඳහන් කළේය.

රත්නපුර ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක සිට පැමිණි මෙම චීවරධාරියාට ආදායම් මාර්ගයක් නොමැති බවත්, මෙම ක්‍රියාදාමය තුළින් ඩොලර් උපයන බවට සැක කරන බවත් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බුදු දහමට නිගා කරන කල්ලි එම ඩොලර් ප්‍රදානය කරන බවට සැක පළ කරන බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවැසීය.

සැකකරු ටින්ටොක් වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරි සිම්පත ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකගේ නමින් ලබාගත්තක් බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වූ බව ද පැවැසිණි.පොලීසියට ලැබුණු පැමිණිලි 17ක් සහ අනෙකුත් ආවේක්ෂණ කරුණු කඩිනමින් අත්අඩංගුවට සොයා බලා සැකකරු නොගත්තේ නම්, බෞද්ධ ජනතාවට හා බුදු දහමට විශාල අපකීර්තියක් හා වෛරී ප්‍රකාශන ඉදිරිපත් කිරීමක් සැකකරු විසින් කළ හැකිව තිබූ බව ද සඳහන් කළේය.

සැප වාහනවල යමින්, කාන්තාවන් ඇසුරු කරමින් බුදු දහමට නිගා වන ආකාරයේ වීඩියෝ දිගින් දිගටම සැකකරු අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ද කරුණු ඉදිරිපත් කළේය.අධිකරණ සංඝනායක හිමිනමක ප්‍රකාශ කළ යුතු කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලීසියට ඉදිරිපත් කරන බව පෙන්වා දුන් උපුල් කුමරප්පෙරුම මහතා, බී වාර්තාව සම්පූර්ණයෙන් වැරැදි සහගත බැවින්,

සැකකරු ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා සිටියේය.

මෝඩාභිමානය නමින් වැඩසටහනක් කළ නතාෂා නමැති තැනැත්තියට මහාධිකරණය මගින් ඇප දෙමින් ඉදිරිපත් කළ තීන්දුවේ පිටපතක් කුමරප්පෙරුම නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.අදාළ තීන්දුවේ සඳහන් කරුණු පරිදි මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ද කරුණු ඉදිරිපත් කළේය.2007 අංක 56 දරන සිවිල් හා අයිතිවාසිකම් පනතේ තුන එක වගන්ති යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය 290-291 වගන්ති යටතේ වරදවල් සිදු කිරීමට එරෙහිව සැකකාර හිමිනම දෙසැම්බර් 13 වැනිදා අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝග නිකුත් කළේය.
රෝෂන් තුෂාර