weligama-incident

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ රැඳවුම් බාරයේ සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු ද වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටාගේ පාතාල ජාලයේ පිරිසක් සොයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ඊයේ (31 වැනිදා) අලුයම වැලිගම, පැලෑන ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුරදී එම කොට්ඨාසයේ නිලධාරියකු මියගොස් තවත් නිලධාරියකු තුවාල ලැබුවේ පොලිස් නිලධාරීන් අතර තිබිය යුතු සන්නිවේදන ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමේ වරදිනි.

එහිදී පාතාල සාමාජිකයින් හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අතර වැලිගම, පැලෑන වටරවුම අසල පිහිටි සංචාරක හෝටලයක් ඉදිරිපිටදී වූ වෙඩි හුවමාරුවක් අතරතුර වැලිගම පොලිසියේ හා යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් සිදු කළ වෙඩි ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයකු මියගොස් උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීය.



මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර (47) ය. ඔහු ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආඳාගල, නාවක වත්ත රණවිරු ගම්මානයේ ස්ථිර පදිංචිකරුවෙකි.

වෙඩි වැදිමෙන් බරපතළ තුවාල සිදුව තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආර්.එල්.ආර්. මධුරංගටය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පෙරේදා (30 වැනිදා) රාත්‍රියේ කොළඹ සිට වැලිගම දක්වා ගමන් කළේ හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ පිරිසක් මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ වැලිගම, පැළෑන වටරවුමේ පිහිටි සංචාරක හෝටලයක සිටින බවට ලද තොරතුරකට අනුවය. මෙම සංචාරක හෝටලය ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුතණුවන්ට අයත් සංචාරක හෝටලයට යාබදව පිහිටි හෝටලයකි.

මෙම කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (31 වැනිදා) අලුයම 02.30ට පමණ සැකකරුවන් සිිටින හෝටලය අසලට පැමිණි අවස්ථාවේ එම හෝටලය දෙස සිටි පාතාල සාමාජිකයින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද පෙරළා වෙඩි තබා තිබේ.

මෙම වෙඩි හුවමාරුව අතරතුර පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද ඇමතුමක් මත වැලිගම පොලිසියේ සංචාරක මුර සංචාරක රථය එම ස්ථානයට ළඟා වී ඇත. එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් තමන් පැමිණි වෑන් රථයට ගොඩ වී තිබේ.



වැලිගම පොලිසියේ සංචාරක ජීප් රියේ පැමිණ තිබුණේ ‘යුක්තිය’ මෙහෙයුමට එක්ව සිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු කණ්ඩායමක් සහ යුද හමුදා සෙබළුන් දෙදෙනෙකි.

පොලිස් ජංගම සංචාරක රථය වෑන් රථය අසලට පැමිණෙද්දී වෑන් රිය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. මෙහිදී වැලිගම පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් හා යුද හමුදා සාමාජිකයින් වෑන් රථයෙන් පලා යන්නේ පාතාල සාමාජිකයින් යැයි සිතා එම රියට වෙඩි තබා ඇති අතර, වෑන් රථය අධික වේගයෙන් අධිවේගි මාර්ගය දෙසට ගමන් කර ඇත.

ඒ වනවිට වැලිගම පොලිසියේ නිලධාරීන් මෙම වෑන් රථයේ අංකය සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දි තිබිණි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැමිණි වෑන් රථය දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදූව පිවිසුමේදි අධීවේගි මාර්ග සංචාරක කොට්ඨාසයේ නිලධාරින් විසින් නවත්වා තිබේ. එහිදී එහි සිටි නිලධාරියකු තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ බව පවසා ඇත.

එහෙත් එම පිරිසට හා වෑන් රථයට ගමන් කිරීමට අවසර නොදුන් අධිවේගි මාර්ග සංචාරක කොට්ඨායේ නිලධාරීන් බරපතළ තුවාල ලැබ සිටි පොලිස් සැරයන්වරයකු සහ උප පොලිස් පරීක්ෂකවරයකු සුවසැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහල වෙත යවා ඇත. අනතුරුව වෑන් රථය හා එහි සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අට දෙනකු වැලිගම පොලිසිය වෙත බාරදී තිබේ.

කරාපිටිය රෝහල වෙත ගෙනගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ උපුල් නමැති සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව සිටි අතර බරපතළ තුවාල සිදුව තිබූ සිටි එම කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක මධුරංග කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

හරක්කටා හා දුරකතන මගින් සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාලය හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ ‘බොකු චමින්ද’ නමැත්තා ඇතුළු සැකකරුවන් 11 දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉන් අටදෙනකු අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කර සිටින අතරතුරදී මෙම මෙහෙයුම සිදුව තිබේ.

එලෙස අත්අඩංගුවේ සිටින පිරිස අතර පාතාල සාමාජිකයින්ට නවාතැන් දුන් වෙඩි හුවමාරුව සිදුවූ වැලිගම හෝටලයේ හිමිකරු ද සිටියි.



දකුණු පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ උපදෙස් මත මාතර කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල විරසිංහගේ මෙහෙයවීම යටතේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පිටස්තර කොට්ඨාසයක් මගින් මෙවැනි මෙහෙයුමක් හෝ වැටලිමක් සිදුකිරීමේදී අදාළ කොට්ඨාසය බාර නිලධාරියා මගින් මෙහෙයුම හෝ වැටලීම සිදුවන කොට්ඨාසයේ නිලධාරියා දැනුවත් කළ යුතුව ඇතත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මෙම වැටලීමට පැමිණ ඇත්තේ එවැනි කිසිවක් අනුගමනය නොකරමිනි.

සිවිල් ඇඳුමෙන් සැරසි පැමිණි මෙම පිරිස පොලිසිය ද, අපරාධකරුවන් ද වග හඳුනාගත නොහැකි තත්ත්වයක් තිබියදී වැලිගම පොලිසිය විසින් වෙඩි තැබීම සිදුකර තිබෙන බව දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම වෙඩි තැබීමෙන් ජිවීතක්ෂයට පත්වූ පොලිස් සැරයන් උපුල් චමින්ද උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පියවර ගෙන ඇත්තේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ උපදෙස් මතය.

රාජකාරිය අතරතුර වූ අවාසනාවන්ත සිදුවීමකින් ජීවිතක්ෂයට පත්වූ උපුල් චමින්ද නිලධාරියාගේ නිවෙස ද ඊයේ (31 වැනිදා) පොලිස් නිලධාරින්, රණවිරුවන් මෙන්ම ප්‍රදේශවාසින්ගෙන් ද පිරී ඉතිරී ගොස් තිබුණේ ඔහු කළ කැපවීම හේතුවෙනි.

අප එම නිවෙසට යන අවස්ථාවේදී උපුල් චමින්දගේ බිරිඳ සහ ඔහුගේ ඥාතීන් ගාල්ල ප්‍රදේශයට පිටත්ව ගොස් තිබුණේ මරණ පරීක්ෂණ වැඩ කටයුතු සඳහාය.

ඊ​යේ (31 වැනිදා) උදෑසනම දහම් පාසල් ගිය උපුල්ගේ දෙවැනි දියණිය මෙම සිදුවීම දැනගත් පසු නිවෙසට පැමිණ හඬා වැටුණු අයුරු දුටු එහි පැමිණ සිටි සියල්ලන්ගේ දෙනෙත් කඳුළින් තෙත් විය.

උපුල් චමින්දගේ වැඩිමහල් දියණිය මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර ඇය විභාගයට කැටුව යාම සඳහා ඔහු නිවාඩු ලබා පැමිණීමට ද සිටි බව පැවසේ.

ජයසිරි පේදුරුආරච්චි - මාතර කේ.කේ ආරියදාස - දඹුල්ල