පසුගියදා වැලිගම පැලෑන වටරවුම ප්‍රදේශයේදී වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් වූ උපපොලිස් පරීක්ෂකගේ (මිය යනවිට සැරයන්වරයෙකුව සිට මියයාමෙන් පසු S.I ලෙස උසස්වීම් ලැබූ) පවුලේ අයට රුපියල් ලක්ෂ විසිපහක මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරිත්‍යාග කළ බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (03දා) පැවසීය.
මෙම වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සම්පූර්ණ හෙළිදරව් වීමක් සිදු වී නොමැති නිසා ඉදිරියේ දී මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට කුමන ආකාරයෙන් මෙය සිදුවුණේද යන්න හෙළිදරව් කිරීමට හැකිවන බව වැඩ බලන පොලිස්පති, දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවසීය.
පසුගියදා වැලිගම, පැලෑන ප්‍රදේශයේදී වෙඩි හුවමාරුවක් අතරතුරු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර මහතා ජීවිතක්ෂයට පත්විය.
ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (03දා) පෙරවරුවේ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස්, වැඩ බලන පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහත්වරු ඇතුළු උසස් පොලිස් නිලධාරීහු පිරිසක් පැමිණ සිටියහ. පොලිස් සැරයන්වරයා මේ වන විට උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කොට තිබේ. එහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඒ මහතාගේ දියණියත් දෙදෙනාට සහ බිරිඳට පොලිස් දෙපාර්තමේන්තුවෙන් විය යුතු සෑම දෙයක්ම සිදු කරන බවත් පොලිස්පතිවරයා සහ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් රුපියල් ලක්ෂ විසිපහක මූල්‍ය ප්රදානය ද පවුල වෙත ලබාදීම සිදුකරන ලදි.
මෙහිදී මාධ්‍යවේදීන් ඇමතූ විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේ මෙම නිලධාරියා අවංක දක්ෂ පොලිස් නිලධාරියෙකු බවය .මේ දිනවල කුඩු සහ පාතාලය නැති කරන මෙහෙයුමේ දී උපපොලිස් පරීක්ෂකවරයා ජීවිතය පූජා කළ බවත්, එම ජීවිතය පූජා කරනු ලැබුවේ රට වෙනුවෙන් බවත්, මේ රටේ දරුවන් දෙමව්පියන්ගේ අනාගතය වෙනුවෙන් බවත් පැවසූ ඒ මහතා මෙම උදාර කැපකිරීම හේතුවෙන්ම ජනාධිපතිවරයා මෙම සිද්ධිය සිදු වූ අවස්ථාවේ සිට තමන්ට දුරකථනයෙන් කතා කොට සෑම කටයුත්තක්ම එම පවුල වෙනුවෙන් ඉටුකරන ලෙස දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.
පොලිස් දෙපාර්තමේන්තුවෙන් සිදුවිය යුතු සියල්ලම සිදු කරන බවත්, මියගිය නිලධාරියා විශ්‍රාම යනතුරු එම වැටුප බිරිදට සහ දරුවන්ට ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. මෙම සිද්ධියත් සමග සමස්ත පොලිස් නිලධාරීන්ට අමාත්‍යවරයා හැටියට ලබා දෙන පණිවිඩය, යම් සිද්ධියක් වූ විට එම නිලධාරීන් අතරමං නොකර ඔවුන් සමග ඉදිරියට ක්‍රියා කිරීම බවද ඒ මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය පාතාල ජාවාරම මැඩලීම සඳහා නිලධාරියා ජීවිත පරිත්‍යාග කළා සේම තමන්ගේ ජීවිතය පරදුවට තබා හෝ මෙම ව්‍යසනය රටින් තුරන් කරන බව ඒ මහතා දැඩිව කියා සිටියේය. යුක්තිය මෙහෙයුම ඉතා සැලසුම් සහගතව අරමුණක් ඇතිව සිදුකරන මෙහෙයුමක් විනා අරමුණක් නොමැතිව සිදුකරන මෙහෙයුමක් නොවන බවත්, මේ වන විට විදේශ රටවලින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන පුද්ගලයන් පිළිබඳව හඳුනාගැනීම සිදුකර තිබෙන බවත්,
අදාළ දිස්ත්‍රික්කවලට එම නාම ලේඛන පවා ලබා දී ඇති බවත් වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ වන විට මත්ද්‍රව්‍ය ජාලයේ සියයට පනහක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ජනවාරි මාසයේ තිස් එක දිනය වන විට එය සියයට සියයක් සම්පූර්ණ කිරීම සිදුකරන බවත් තෙන්නකෝන් මහතා පැවසීය.මෙම නිලධාරියාගේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කුමන මට්ටමක පවතින්නේද යන්න මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ දිවයිනේ ඕනෑම තැනක මෙවැනි සිද්ධියක් සිදුවූ විට ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට පරීක්ෂණ පවත්වන බවය.
මේ අතර වැලිගම පැලෑන වටරවුම ප්‍රදේශයේදී වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් වූ උපපොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර මහතා අවසන් කටයුතු අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ඊයේ (03දා) ගලේවෙල ආඳාගල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.
එස්. කරුණාරත්න
0 Comments