යූපීඅයි හරහා ගෙවීම් සිදු කිරීමේ වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළෙඳසල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම ඊයේ (12දා) සිදු කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.



NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම ගෙවීම් ක්‍රමය මෙරටට හඳුන්වාදී තිබේ.

ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා කිව්ආර්කේතය(QR) මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI ) හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමය හඳුන්වා දීම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඊයේ (12දා) සිදු කෙරිණ.

මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත ය.

තම ඉන්දීය නිල සංචාරයේදී එළිදක්වන ලද "දැක්ම ප්‍රකාශය” අනුව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UP)) ගෙවීම් ක්‍රමය හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාවේ තමිල්නාඩු හා මුම්බායි සමඟ සම්බන්ධව වන බවත්, ඒ හරහා ව්‍යාපාරිකයන් 400,000කට පමණ ප්‍රතිලාභ සැලසෙන බවත් සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



පසුගියදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා තුළින් යහපත් ප්‍රගතියක් පිළිබිඹු වන බව පැවසූ ජනාධිපතිවරයා, මොර්ෂස් රාජ්‍ය සමඟ ද ඇති වූ සහයෝගිතාව මගින් නව සම්බන්ධතා ගොඩනැගීමට දරන ප්‍රයත්නය තවදුරටත් පුළුල් වන බව ද පැවසුවේය.

 නවෝද්‍යා පවනි