Candidate Shot Dead While Canvassing In Bajaur
ඡන්ද විමසීම ආරම්භ වීමට සතියක කාලයක් තිබියදී  උත්සන්න වූ මැතිවරණ ප්‍රචණ්ඩත්වය හේතුවෙන්,  බදාදා දින ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි පාකිස්තාන මැතිවරණ අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.


හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ 'පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් ' (PTI) පක්ෂයට අනුබද්ධ ස්වාධීන අපේක්ෂකයෙකු වන රෙහාන් සෙබ් ඛාන් මහතා මෙසේ ඝාතනය කර ඇත.  කයිබර් පක්තුන්ක්වා පළාතේ බජාවුර්හි වෙළඳපොළක දී තුවක්කුකරුවන් පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථයට එල්ල කරන ලද වෙඩි තැබීමකින් සෙබ් මහතා මිය ගොස් ඇති අතර , තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.



ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් හෙවත් ISIS-K විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇත.

කයිබර් පක්තුන්ක්වා පළාත් සභාව සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මලික් කලීම් උල්ලා මහතා ජනවාරි 10 වන දින වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු , මෑත සතිවල අපේක්ෂකයෙකු ඝාතනය කරන ලද දෙවන අවස්ථාව මෙය බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

පෙබරවාරි 8 වනදා පැවැත්වෙන මහ මැතිවරණයට පෙර බදාදා දිනයේ දී සිදු වූ මෙම වෙඩි තැබීම,  දේශපාලන අපේක්ෂකයින් සහ පක්ෂ ඉලක්ක කර ගනිමින් පකිස්තානය පුරා එල්ල වූ ප්‍රහාර මාලාවක නවතම අවස්ථාව ලෙස සනිටුහන් වෙයි.

බදාදා දිනයේ දී පකිස්තානයේ මහජන පක්ෂයේ අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ නිවාස , කාර්යාල සහ පාකිස්තාන මුස්ලිම් ලීගයේ මැතිවරණ කාර්යාලයක් ඉලක්ක කර ගනිමින් බලුකිස්තාන් පළාතේදී සිදු වූ ප්‍රහාරයක් හේතුවෙන් , අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකුට පමණ තුවාල සිදු වූ බව බලුකිස්තාන් ස්වදේශ හා ගෝත්‍රික කටයුතු භාර අමාත්‍ය සුබයිර් ජමාලි පවසයි.

සිදු වූ එම ප්‍රහාර මාලාවෙන් එක් ප්‍රහාරයක වගකීම බෙදුම්වාදී කණ්ඩායමක් වන බලුච් විමුක්ති හමුදාව භාර ගන්නා ලදී.



මීට දිනකට පෙර බලුකිස්තානයේ සිබි නගරයේ දී පැවති  PTI මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් 5 දෙනෙකු තුවාල ලැබූ බව PTI  පුවත් සේවය වාර්තා කරන අතර, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර සෙවීමේ අරමුණ ඇතිව පකිස්තානයේ මැතිවරණ කොමිසම (ECP) විසින් ,  බ්‍රහස්පතින්දා දිනයේ දී  ආරක්ෂක නිලධාරීන්ගේ හදිසි රැස්වීමක් කැදවා, පළාත් දෙකේ "පිරිහෙන" නීතිය හා සාමය පිලිබඳව සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත.

රජයේ ප්‍රකාශයකට අනුව බදාදා දිනයේ දී පකිස්තාන හමුදාව වාර්ෂික සමුළුවක් සඳහා ද රැස් වී ඇති අතර,  එහිදී ඔවුන් ලබන සතියේ පැවැත් වීමට නියමිත මහ මැතිවරණයේදී මැතිවරණ කොමිසමට සහාය වීම සඳහා රටේ හමුදාව යෙදවීමට තීරණය කර ඇත.  

රටේ සිටින මිලියන 240ක් වන ජනතාවට මැතිවරණය පැවැත්වෙන පෙබරවාරි 8 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබේ.

පකිස්ථාන දේශපාලනයේ කැළඹිලි සහිත සතියකින් පසුව හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 14ක සිර දඬුවමකට යටත් කරන ලදී.

2022 අප්‍රේල් මාසයේ ඉදිරිපත් වු විශ්වාසභංගයෙන් පරාජය වී ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු,  ඛාන් සහ PTI පක්ෂයේ සාමාජිකයින් සියළු දෙනා පුලුල් මර්දනයකට ලක්ව ඇත.