Freshwater-Moray-is-found-in-Sri-Lanka-after-84-years

Gymnothorax polyuranodon යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන 'ගංගල්ගුල්ලා' (Freshwater Moray) මත්ස්‍ය විශේෂය වසර 84කට පසු මෙරටින් වාර්තා වී තිබේ.



ඒ අනුව මෙම මත්ස්‍ය විශේෂයේ නිදර්ශකයක් ගිං ගඟෙහි වක්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා කිරීමට හිරණ්‍ය සුදසිංහ(බර්න් විශ්වවිද්‍යාලය), තරිඳු රණසිංහ (Wild lsland Foundation) සහ ස්විට්සර්ලන්ත ජාතික ලූකාස් රූබර්(බර්න් ස්වභාව විද්‍යා කෞතුකාගාරය) යන පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇත.

එසේම ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය 23 වැනිදා 'Zootaxa' යන අන්තර්ජාතික විද්‍යාත්මත සඟරාව මගින් ප්‍රකාශයට පත්කර තිබිණි.

පී.ඊ.පී. දැරණියගල මහතා විසින් වර්ෂ 1937 දී රත්නපුර කහන්ගමින් හා දොඩන්ගොඩින් මෙම විශේෂය පළමුව ශ්‍රී ලංකාවෙන් වාර්තාකර තිබූ නමුත් අනතුරුව මෙම විශේෂය නැවත මෙරටින් වාර්තා නොවීය. ඒ අනුව 2021 වර්ෂයේදී වක්වැල්ල ප්‍රදේශයෙන් ධීවරයෙකුට මෙම විශේෂය හමුව තිබූ අතර ගල්ගුල්ලෙකු හඳුනාගැනීම සඳහා ඉහත පර්යේෂණ කණ්ඩායමට යොමු කර තිබිණ.

එහිදී මෙම නිදර්ශකයේ ජාන විද්‍යාත්මක ලක්ෂණ විමර්ශනය කිරීමෙන් අනතුරුව එය Gymnothorax polyuranodon යන විශේෂයට අයත් බවට තහවුරු කර තිබේ.

ගල්ගුල්ලන් (Moray) විශේෂ කරදියවාසී වුවද Gymnothorax polyuranodon යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන 'ගංගල්ගුල්ලා' (Freshwater Moray) විශේෂයේ වැඩුණු සතුන් සම්පූර්ණයෙන්ම මිරිදියෙන් හමුවීම ඔවුන් අනෙකුත් ගල්ගුල්ලන්ගෙන් වෙනස්වන කැපීපෙනෙන ලක්ෂණයකි.

මෙම විශේෂය ඉන්දුනීසියාවේ සිට ෆීජී දූපත් දක්වා ඇති රටවල මෙන්ම ඕස්ට්‍රේලියාවේ ඝර්මකලාපීය ගංගා ද්‍රෝණිවලින්ද වාර්තා වේ.


නිදර්ශනී වික්‍රමසිංහ