“මගේ පන්තියේ පෙර පාසල් ළමයින් තිස් එක් දෙනෙක් ඉන්නවා. දහවල් විවේක වෙලාවේ දී මම ඒ අයත් අරන් සෙල්ලම් මිදුලට ගියා. කුඩා ළමයින්ගේ ආරක්ෂාවට එතන දැල් ගහලා වට කරලා තියෙන්නේ. මගෙත් එක්ක තව ටීචර් කෙනෙකුයි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ චන්ද්රාවතිත් හිටියා. අපි ඇතුළට ගියා ළමයි හතර දෙනෙක් මෙරිගෝවට ගියා. අනෙක් ළමයි එක්ක මම බැම්ම අයිනේ හිටියේ. එතකොටම බැම්මට එහා තිබුණ ලොකු ගහක් කඩාගෙන අපි ඉන්න තැනට වැටුණා. ළමයි හතර දෙනෙක් අතු අස්සේ හිරවෙලා හිටියා” යැයි ගසක් කඩා වැටීමෙන් මියගිය මොහොමඩ් සයින් අස්වි නමැති පස් හැවිරිදි දරුවාගේ මරණ පරීක්ෂණයේ දී පන්තිභාර ගුරුවරිය වන ෆාතිමා ෆයිකල් පයාසා පැවසුවාය.
ගම්පොළ ජාත්‍යන්තර පාසලක සෙල්ලම් මිදුලට පෙරේදා (05) ගසක් කඩා වැටීමෙන් එක් සිසුවකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි. ගම්පොළ ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් කැකුළන්දර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ධනපාල මහතාගේ සාක්ෂි මෙහෙයවීම මත ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා විසින් මියගිය දරුවාගේ මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය. තවදුරටත් සාක්කි දුන් පන්තිභාර ගුරුවරිය මෙසේද කීවාය.
කඩා වැටුණු ගහේ අත්තක් වැදිලා මමත් බිමට වැටුණා. ගහ වැටුණට පස්සේ ළමා උද්‍යානයේ දොර වලුත් වැහිලා ගියා. මට හානියක් තිබුණේ නෑ. ළමයි දෙන්නෙක් සිහි නැතුව වැටිලා හිටියා . අපි එකතුවෙලා ගසා තිබූ දැල්වලට උඩින් ළමයි පිටතට අරන් දුන්නා. පස්සේ සියලු දෙනාගේ සහයෙන් ළමයි ගම්පොල රෝහලට අරන් ගියා.මියගිය දරුවාගේ පියා වන මොහොමඩ් හම්සා මොහොමඩ් අස්වි මෙසේ පැවසීය.මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මියගිය පුතා එයින් වැඩිමහල් එක්කෙනා. පෙර පාසලට බාර දුන්නේ මේ අවුරුද්දේ ජනවාරි 17 දිනයි. මගේ අයියගේ දරු දෙන්නත් මේ පාසලට තමයි යන්නේ. ඒ අයත් එක්ක ගෙදර ඉඳලා උදේ පාසලට ත්‍රිරෝද රථයකින් එවනවා. විවේක වෙලාවට මේ විදිහට සෙල්ලම් කරන්න දරුවා එක්ක යන බවත් අපි දන්නවා.දරුවාගේ ලොකු තාත්තා වන මොහොමඩ් හසීම්ද සාක්කි දුන්නේය.
මගේ එක දරුවෙක් මල්ලිගේ දරුවාගේ පන්තියේ තමයි ඉගෙන ගන්නේ. අනෙක් පුතා වෙන පන්තියක ඉගෙන ගන්නේ එයාට උණ හැදිලා කියලා මට පාසලෙන් දැනුම් දුන්නා. මම එයා ගන්න පාසලට ගියා. එතකොට පහළ පෙර පාසල පැත්තෙන් විශාල ශබ්දයක් මට ඇහුණා. මම ඒ පැත්තට දුවගෙන ගියා.
මම දැනගත්තා ළමයි උඩට ගහක් කඩා වැටිලා කියලා. මගේ දරුවා එතන හිටියා. එයාට සුළු තුවාල වෙලාහිටියේ. මම මල්ලිගෙ දරුවා හෙව්වා එතකොට දැනගත්තා එයා ගම්පොල රෝහලට අරන් ගියා කියලා. ඉක්මනට බයික් එකේ නැගලා රෝහලට ගියා. ඒත් ඒ දරුවා මියගිහින් කියලා පස්සේ දැනගත්තා.
මරණ පරීක්ෂක නලින් මැදිවෙක මහතා මෙම ස්ථානයේ නිරික්ෂණයක්ද කළේය. අඩි 70ක් උස මෙම කුඩුදවුල ගස වැටීමේදී තවත් ගසක වැදි එය ළමුන් සිටින පැත්තට හැරී ඇති බව එහිදී අනාවරණය විය.ගස තිබූ අඩි නමයක් උස ආරක්ෂිත පැති බැම්ම නිසා එම ගසේ අඩි විසි දෙකක කොටසක් පමණක් ළමයින් සිටින දෙසට වැටීම නිසා සිදුවීමට ගිය විශාල හානියක් වැළකී ගොස් ඇති බවද හෙළි විය.මැදිවක මහතා පාසල් බලධාරීන්ට දන්වා සිටියේ කුඩා ළමයින් සිටින ස්ථානයක අවට අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසය. එම ස්ථානයේ ඇති අනෙකුත් අනතුරුදායක ගස් පිළිබඳව විමසිලිමත් වන ලෙසද පාලනාධිකාරියට අවවාද කළේය. දරුවාගේ මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පොළ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි සචින්ත රණතුංග මහතා සඳහන් කර තිබුණේ ගස කඩා වැටීමෙන් හිසට හා මොළයට සිදු වූ හානි නිසා මෙම මරණය සිදුව ඇති බවයි.
සුරංග රාජනායක
0 Comments