අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයක් මතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අද පෙරවරුවේ මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.  

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝහල්ගත කර තිබෙනවා.

වෛද්‍ය උපදෙස් මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද මාළිඟාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ඔහු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

ආන්දෝලනයට තුඩුදී ඇති ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි. 

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙරවරු 09 සිට පැය 10 කට අධික කාලයක් පෙනීසිටි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 

ඉන් අනතුරුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගනු ලැබුවේ.