Ready-to-give-2000-freehold-deeds-before-the-end-of-this-year

මේ වසර අවසන් වීමට පෙර සින්නක්කර ඔප්පු 2,000ක් ලබා දීමට සැලසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සදහන් කරයි.



ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 46දෙනෙකුට සින්නක්කර ඔප්පුද, ප්‍රතිලාභීන් 250 දෙනෙකුට රුපියල් මිලියන 115ක නිවාස ණය චෙක්පත්ද මේ වන විට ලබා දී තිබේ.



වැඩ අවසන් නොකර අතරමග නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මෙම වසර තුළ මෙම ව්‍යාපෘති අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් නතර වී තිබූ නිවාස ණය සහ ආධාර වැඩසටහන් යළි ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සහ නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.



ශෙහාත් සේමසිංහ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සින්නක්කර ඉඩම් ඔප්පු හා ණය චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්වුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන මේ වනවිට කඩිනම් කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.


නවෝද්‍යා පවනි