ඝාතනයක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා ගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බැලීමට ආ පුද්ගලයකු දුන් බව කියන කිරිපැකට්ටුවක් පානය කිරීමෙන් පසු එම දෙදෙනා සිහිසුන්ව අසාධ්‍ය තත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඊයේ (7) සවස ඇතුළත් කරනු ලැබූහ.
දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණේ සේරුනුවර පදිංචි 27 හැවිරිදි අයකු සහ කොළඹ 13 පදිංචි 29 හැවිරිදි අයෙකි.
ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 24 වැනිදා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවනු ලැබ සිටියහ.
මෙම සැකකරුවන් දෙදෙනා කුඩුවේ සිටියදී ඊයේ (7) දහවල් 12.15 ට පමණ පැමිණි පුද්ගලයකු බනිස් ගෙඩියක් සහ කිරිපැකට්ටුවක් දී පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
පසුව දෙදෙනාම කූඩුවේ බංකුවක් මත වාඩිවී එම බනිස් ගෙඩිය දෙකට කඩා අනුභව කර ඇතැයි කියති. එම අවස්ථාවේදී සැකකරුවකුගේ බිරියද ඔහු බැලීමට පොලිසියට පැමිණ ඇත. බිරියටද බනිස් කැබැල්ලක් දී ඇතත් ඇය එය ප්‍රතික්ෂේප කර තිබිණි.
කිරි පැකට්ටුව පානය කළ අයකු එතැනම වැටී ඇති බවත් ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිය කෑ ගසා ඇති බවත් පැවැසේ.
අනෙක් සැකකරුද එම කිරි පැකට්ටුව බීමෙන් පසුව අසාධ්‍ය තත්වයට පත්ව රෝහල් ගත කෙරුණු බව පොලිසිය පවසයි.
එම දෙදෙනා අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ආදුරුප්පුවීදිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
මෙහිදී රාජකාරිය පැහැර හැරීමක් සිදුවූවාදැයි සෙවීමට මැද කොළඹ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.එල්. ලීලාරත්න මහතාගේ නියෝග මත විමර්ශන පැවැත්වේ.
ගයාන් සූරියආරච්චි සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments