anuradhapura-president-protest

අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ (15 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජපන් දූත පිරිසකගේ අතින් විවෘත කෙරුණු අතර ඊට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීහු පිරිසක් එම ජල පවිත්‍රාගාරය ඉදිරිපිටට පැමිණ සටන් පාඨ කියමින් උද්ඝෝෂණවල නිරත වූහ.

මෙම විවෘත කිරීම සඳහා ජපන් තානාපති ඇතුළු ජපන් ජාත්‍යන්තර සහයෝගිතා (ජයිකා) ආයතනයේ දූත පිරිසක් ද එක්ව සිටියහ.

මෙහිදී විරෝධතාවයේ යෙදුණු පිරිස් පැවසුවේ, මෙම ජල ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගන්නා මහකනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් කරන්නේ නැතිව මෙය විවෘත කිරීමෙන් මහකනදරාව ව්‍යාපාරයේ ගොවීන් අන්ත අසරණ භාවයට පත්වන බවය.

නමුත් මෙම පානීය ජල ව්‍යාපෘතියේ ජලය යාපනයට හෝ රැගෙන ගියත් තමන්ගේ කිසිදු අකැමැත්තක් නොමැති බවත් ඔවුහු පැවසූහ.

දැනට අහස් වැස්සෙන් පමණක් ලැබෙන ජලයෙන් මහ කනදරාව ජලාශය යටතේ අක්කර 9000ක කුඹුරු ප්‍රමාණයක් අස්වද්දන බවත්, මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීම හේතුවෙන් දැඩි නියඟෙන් පසු ලැබුණු වැස්සෙන් පිරී ගිය කනදරාව ජලාශය සතියක් යෑමට මත්තෙන් සිඳී යන බවත් එම පිරිස් මෙහිදී පැවසූහ.

මෙම ජල යෝජනා ක්‍රමය යටතේ දිනකට ගණ මීටර් 6700 ක ජල ධාරිතාවක් මහා කනදරාව ජලාශයෙන් ලබා ගැනීමට නියමිත බවත් ජලාශයට ජලය ලැබෙන ක්‍රමයක් නොමැතිව මෙම පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් දරු පවුල් 5000 කට වැඩි සංඛ්‍යාවකට යන එන මං නොමැතිව යන බවත් එම ප්‍රදේශවාසීහු පැවසූහ.

මොරගහකන්ද ජලාශයේ සිට ඒරුවැව හරහා මහ කනදරාව ජලාශයට ජලය ලබා දීමෙන් පසුව මෙම ජල යෝජනා ක්‍රමය විවෘත කරන බවට පොරොන්දුවක් ලබා දී තිබුණ ද එම ඇළ මාර්ගයේ කටයුතු තවමත් නිම කර නොමැති අවස්ථාවක ගොවි ජනතාව ගොනාට අන්දවා මෙම පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කළ බවත් එය අනුවණ ක්‍රියාවක් බවත් එම පිරිස් පැවසූහ.

මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීමට ජනාධිපති පැමිණෙන බවට ප්‍රකාශ වීමත් සමග ඊට විරෝධය පළ කිරීම සඳහා සති කිහිපයක සිට ගොවීහු සූදානම්ව සිටියහ.
ජනපති ජල ව්‍යාපෘතිය විවෘත කරද්දී ගොවීහු පවිත්‍රාගාරය ළඟ උද්ඝෝෂණ



මෙම විරෝධතාව මෙලෙස පවත්වනු ලබන්නේ අදාළ විරෝධතාව තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙසට මිහින්තලේ පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කළ පසුබිමකය.

විවෘත කිරීමට නියමිතව තිබූ ජල පවිත්‍රාගාරය අසලට විරෝධතා කරුවන් පැමිණීම වැළැක්වීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය, යුද හමුදාව, පොලිස් ජල ප්‍රහාරක රථය සූදානම් කර ඒ අවට ප්‍රදේශවල අතුරු මාර්ග රැසක පොලිස් මාර්ග බාධක යොදා තිබුණි.

මෙහිදී සංවිධානාත්මක එක් රැස්වූ ගොවීහු පිරිසක් කුඹුරු මැදින්, ලඳු කැලෑවලින් සහ ඇළ මාර්ග තරණය කරමින්, පොලිස් මාර්ග බාධක තුනක් තල්ලු කර දමමින් ජල පවිත්‍රාගාරය ඉදිරිපිටට පැමිණ මෙම විරෝධතාව පළ කළහ. මෙහිදී ඇතැම් ගොවීන් පැවසුවේ සිය ඉඩම්වලින් ආරක්ෂක අංශ වහා ඉවත් විය යුතු බවය.



මෙම ක්‍රියාව නංගි පෙන්වා අක්කා දුන්නා වගේ වැඩක් යැයි ද ඔවුහු පැවසූහ.

මෙහිදී විරෝධතාවයේ යෙදුණු 26 දෙනකුට මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සඳහා ද කැඳවා තිබුණි.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ, මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික තුසිත සමන් මහතා.

සාකච්ඡාව සාර්ථක වුණේ තරමක් දුරට පමණයි. පැලැස්තර උත්තරයක් තමයි අපිට හම්බ වුණේ.

මම ඒ වෙලාවේ කිව්වා, මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය 2012 පටන් අරගෙන මේ වෙන කොට වසර 12ක් ගත වෙලා තිබෙනවා, තවමත් ජලය මහකනදරාව ජලාශයට ලැබිලා නැහැ කියලා.

නමුත් අද වෙද්දි මේ පානීය ජල ව්‍යාපෘතිය විවෘත කරල තිබෙනවා. මේ ගැටලුවට විසඳුමක් ලෙස ජනාධිපතිවරයා පවසා සිටියේ,

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන මණ්ඩලය සමඟ සාකච්ඡා කරලා දැනට මිලියන 1000ක් ලබා දීලා, ඒරුවැවේ ජල ධාරිතාව අක්කර 2700 කින් වැඩි කරලා එම වතුර ප්‍රමාණය මහ කනදරාව වැවට ලබා දෙන බවයි.

නමුත් ඒරුවැව කියන්නේ අහස් දියෙන් පෝෂණය වන වැවක්. මහවැලි වතුරක් එන්නේ නැහැ. ඒ නිසා මේකට සාර්ථක විසඳුම තමයි මොරගහකන්ද ජලාශයෙන් මහ කනදරාවට ස්ථීර ජලය සැපයුමක් ලැබීම.

නමුත් අද ලබා දුන්න තාවකාලික විසඳුම දෙස අපි බලා ගෙන ඉන්නවා. ඒකත් වාචික පිළිතුරක් පමණක් වෙයිද දන්නේ නැහැ. ගොවීන් හැටියට අපි සියලු දෙනා බලා ඉන්නවා කොයිතරම් දුරට ඒ ක්‍රියාත්මක වෙයිද කියලා.

මේකට ස්ථිර ජල සැපයුමක් නැති වුණොත් අන්තිමට පානීය ජල ව්‍යාපෘතියේ පිරිසත් අමාරුවේ, අන්තිමට ගොවිතැන් කරන අපිත් අමාරුවේ.

උද්ඝෝෂණය සඳහා ඒකාබද්ධ ගොවි සංවිධානය නියෝජනය කරමින් ගොවි සංවිධාන පහළොවකට වැඩි සංඛ්‍යාවක ගොවීහු පන්සියයකට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.

මිහින්තලේ – රංග චතූ