anuradhaura-incident

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (30) අත්අඩංගුවට ගනු ලැබූ 22 හැවිරිදි තරුණයකු මියයෑමේ සිද්ධියකින් පසුව එදින රාත්‍රි අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි එම තරුණයාගේ ඥාතීන් පිරිසක් මෙම මරණය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට චෝදනා කිරීමෙන් එහි දැඩි නොසන්සුන්තාවයක් ඇති විය.



"හොඳට හිටිය දරුවා පොලිසිය මරා ගත්තා, අනේ දෙයියනේ ඇයි දරුවට මෙහෙම දෙයක් කළේ" යැයි පවසමින් ඥාතීහු එහිදී හඬා වැළපුනහ.මෙලෙස මියගොස් ඇත්තේ දෙවන පියවර, අනුරාධපුර ලිපිනයේ පදිංචි ශනුක ගිහාන් මාරඹගේ නමැති 22 හැවිරිදි තරුණයෙකි.මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කළ එම තරුණයාගේ මිත්තණිය වන කේ. ආරියවතී මහත්මිය පැවසුවේ, “මැරිලා ඉන්නේ මගේ මුණුපුරා. එයාගේ අම්මා රට රස්සාවක් කරන්නේ. තාත්තා කොළඹ. මේ දරුවා තමයි පවුලේ එකම දරුවා. ඊයේ උදේ පොලිසියෙන් අරන් ගියාට පස්සේ මැරිලා.

අසනීප වෙලා මැරෙන්න තරම් ලෙඩක් තිබුණේ නැහැ'' කීය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය.'' මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් යටතේ පෙරේදා (30) උදේ 11.45ට මොහු පොලිස් අත්අඩංගුවට ගත්තා. පොලිසියේදී අසනීප වුණා. සවස 4.50ට පමණ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී මියගියා.  පහරදීමක් සිද්ධ වුණේ නෑ කියලා ඔහු සමග සිර මැදිරියේ සිටි අනෙක් සැකකරුවන් ප්‍රකාශ දී තිබෙ නවා" යැයි ඔහු කීවේය.මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෙරෙන අතර, පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.
 බී.ජී. චතුරංග