awa-group-leader-arrested

ආවා කල්ලියේ වර්තමාන නායකයා බව කියන ප්‍රභාකරන් කෞසිකන් නොහොත් ‘ප්‍රභා’ නමැත්තා හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 300ක් සහ ආවා කල්ලියේ ලාංඡනය සටහන් කරන මුදල් නෝට්ටුවක් ද සමග ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේ දෙමහල් නිවෙසක රැඳී සිටියදී ඊයේ (4 වැනිදා) අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.සැකකරු තෙල්පලෙයි, නීලියම්බනෙයි, පිල්ලෙයාර් ප්‍රදේශයේ පදිංචි, 25 හැවිරිදි අයෙකි.සැකකරුට එරෙහිව යාපනය සහ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණවල වරෙන්තු 4ක් ඇති බව ද පොලිසිය පවසයි.යාපනය භීතියට පත්කරමින් දරුණු ගණයේ අපරාධ රැසක් ආවා කල්ලිය කර ඇති අතර, සැකකරු විදේශ රටකට පලා යෑමේ අරමුණින් රුපියල් 25,000ක කුලී පදනම මත මෙම නිවෙසේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට රැඳී සිට ඇති බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව, පොලිස් සැරයන් ජයලාල් සහ පොලිස් කොස්තාපල් සංජීව යන නිලධාරීන් ආවේක්ෂණ රාජකාරියේ යොදවා ලබාගත් තොරතුරු අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරු ආවා කල්ලියේ ‘කොයින්සි තම්පා' යන සංකේත නාමයෙන් හඳුන්වන අතර, සංකේත අංකය 001 බව ද පොලිසිය පවසයි. සැකකරුට එරෙහිව යාපනය ප්‍රදේශයේ පුද්ගලයන් කපා කොටා ඝාතනය කිරීම, මිනී මැරීමට තැත් කිරීම, අයුතු ජන රාශියක සාමාජිකයකුව සිටීම, වාහනවලට පහරදී හානි කිරීම, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් වෑන් රථයකින් හප්පා මිනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් තෙලිප්පලෙයි,

චුන්නාගම්, මානිප්පායි, යාපනය සහ කිලිනොච්චිය යන පොලිස් ස්ථානවල චෝදනා පවතින බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.

සැකකරුට යාපනය ප්‍රදේශයේ අපරාධ කිරීම සඳහා විදේශ රටවලින් කොන්ත්‍රාත් ලැබී ඇති බව ද අනාවරණය වී ඇත.මොහු එම අපරාධ කර ඇත්තේ ගල්කිස්ස, යශෝරාපුර දෙමහල් නිවෙසේ රැඳී සිටිමින් බව පොලිසිය පවසයි. සැකකරු යාපනය ප්‍රදේශයට ගොස් අපරාධ කර නැවත ගල්කිස්ස දෙමහල් නිවෙසට පැමිණ ආරක්‍ෂිතව සැඟවී සිට ඇතැයි පොලිසිය කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත. මොහුට මෙම නිවෙස කුලී පදනම මත ලබා දී ඇත්තේ වයස අවුරුදු 72 ක කාන්තාවක බව පොලිසිය හෙළි කරගෙන ඇත.
ගයාන් සූරියආරච්චි