බැඩ්මින්ටන් ජාතික ශූරයා ශ්රී ලංකාවේ සිටියදී 2023 ආසියානු ක්රීඩා උළෙල නියෝජනය කිරිම සදහා චීනයේ හංජෝ නුවරට අනුශූරයා යවන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ක්රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලයට ඊයේ (02) නියම කළේය.
මෙම සිද්ධියට අදාළව කරන විමර්ශන කටයුතු සඳහා බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරීන් සහාය නොදක්වන බව කියමින් ක්රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහේස්ත්රාත්වරයා ලබන 07 වැනිදා විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස බැට්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලයට නියම කළේය.
මෙලෙස විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස නියම කරන ලද්දේ බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති රොහාන් ඩී. සිල්වා,
ලේකම් අජිත් විජේසිංහ, විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ නිලධාරී මණ්ඩලයටය. බැඩ්මින්ටන් ජාතික ශූරයා ශ්රී ලංකාවේ සිටියදී 2023 ආසියානු ක්රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා චීනයේ හංජෝ නුවරට අනුශූරයා යවන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ක්රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට බුවනෙක ගුණතිලක ක්රීඩකයාගේ මව වන ප්රීති දිස්නා රංජනී ඉලේපෙරුම මහත්මිය කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශන වල ප්රගතිය දැක්වෙන වාර්තාවක් එම ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
2021, 2022 හා 2023 වර්ෂවල බැඩ්මින්ටන් ජාතික ශූරතාවය දිනාගෙන ඇත්තේ බුවනෙක ගුණතිලක නමැති ක්රීඩකයා බවත් එහි අනුශූරයා වී ඇත්තේ විරේන් වෙත්තසිංහ නමැති ක්රීඩකයා බවත් දැනුම් දුන් ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකයේ ප්රධාන පොලිස් පරීක්ෂක විදානගේ මහතා 2023 ආසියානු ක්රීඩා උළෙල චීනයේ හංජෝ නුවර පැවැත්වෙන බවත් එම ක්රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනාගත් බුවනෙක ගුණතිලක ක්රීඩකයා ලංකාවේ සිටියදී අනුශූරයා වූ විජේන් වෙත්තසිංහ චීනයට යවා ඇතැයි ද දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව ආරම්භ කළ විමර්ශනයේදී ආසියානු ක්රීඩා උළෙලට යැවීම සඳහා ක්රීඩකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් වූ ක්රමවේදය පිළිබඳ කරුණු දක්වන ලෙස බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරීන්ට දැනුම් දුන්නත් විමර්ශනය පවත්වන්නේ කිනම් නිශ්චිත වරදක් සම්බන්ධයෙන්දැයි විමසා සිටින සම්මේලනය තොරතුරු දීම 2023 ඔක්තෝබර් 26 වැනිදා ප්රතික්ෂේප කර ඇතැයි කී ප්රධාන පොලිස් පරීක්ෂක විදානගේ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරීන් සහාය නොදක්වන හෙයින් එම නිලධාරීන්ට තම ඒකකයේ පෙනී සිට ප්රකාශ දීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය"
මේ සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන වලට අදාළ උද්ධෘත නීතිපතිවරයාට යොමු කර උපදෙස් ගත් බවත් මෙම සිද්ධියේදී ක්රීඩා වැරැදි වැළැක්වීමේ පනත යටතේ ක්රීඩකයා තෝරා ගැනීමේදී දූෂණය හා නීති විරෝධි මෙහෙයවීම යන වැරැදි සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන හෙයින් පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස උපදෙස් දී ඇතැයිද දැනුම් දුන් විදානගේ මහතා මේ සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා සහාය දක්වන ලෙස බැඩ්මින්ටන් සම්මේලනයේ නියෝජිතයන්ට කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්රාත්වරයා සම්මේලයේ නියෝජිතයන්ට ලබන 07 වැනිදා උදේ 9.00ට ක්රීඩා ඒකකයේ පෙනී සිට විමර්ශන සඳහා සහාය දක්වන ලෙස නියම කළේය.
රෝෂන් තුෂාර
0 Comments