bakeries-closer

අධික විදුලි ජල බිල් සහ වැට් බදු හේතුවෙන් රටපුරා බේකරි දහසක් පමණ වැසී ගොස් ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.මේ තත්ත්වය යටතේ බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීමත් සමග පාරිභෝකයන් ඒවා මිලදී ගැනීම අධෛර්යමත්වීමෙන් ව්‍යාපාර පවත්වාගෙන යෑමට විවිධ ගැටලු පැන නැගී ඇති බවද ඔහු කීවේය.



විදුලි බිල සියයට තුන්සීයකින් ඉහළ ගොස් ඇති බවත් ලක්ෂයක් විදුලි බිල ගෙවූ බේකරි ව්‍යාපාරකයින්ට මේ හේතුවෙන් අද ලක්ෂ තුනක් පමණ බිලක් ගෙවීමට සිදුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.අධික බිත්තර මිලද බේකරි කර්මාන්තයේ පසුබෑමකට බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.

බේකරි ක්ෂේත්‍රයේ ලොකු පිරිසක් ව්‍යාපාර වසා දමා නවසීලන්තය සහ ඩුබායි වැනි රටවලට සේවයට පිටව ගොස් ඇති හෙයින් මෙරට බේකරි ක්ෂේත්‍රයට සේවකයින්ගේ දැඩි හිඟයක් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය. සේවකයින්ගේ වැටුප් ඉහළ නොයෑම හේතුවෙන් බේකරි ක්ෂේත්‍රය පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බවද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
 තිලිනි මධුෂානි