Ministry-of-Health-probes-into-bad-Cinnamon-Lakeside-soup
කොළඹ තරු පන්තියේ හෝටලයක් වන සිනමන් ලේක් සයිඩ්හි අවන්හලකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් ලබා දී ඇති බවට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනයෙන් සිදුකළ පරීක්ෂණවලින් සනාථ වී තිබේ .

පසුගියදා රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර මෙම සුප් එක ලබා දී ඇති අතර එහි ප්‍රමිතිය පිළිබඳ අතෘප්තිමත් බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ආයතනයකින් පැමිණිල්ලක් ලැබී ඇත.
එම පැමිණිල්ලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම සුප්වල සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබේ .
එහිදී තහවුරු වි ඇත්තේ රාත්‍රි භෝජන සංග්‍රහයේදී සුප් සමග පිළිගන්වන ලද සුදු ගම්මිරිස්වල ගැටලුවක් ඇති බව අනාවරණය වී ඇති බවය .



හෝටල් කළමනාකාරීත්වයට මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් කර ඇති බවත් ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ සිනමන් ලේක්සයිඩ් හි දී මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් වර්ගයසම්බන්ධ ගැටලුවට ප්‍රතිචාර දක්වමින් එම ආයතනය සිද්ධිය පැහැදිලි කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් කළමනාකාරීත්වය කියා සිටියේ අදාළ සිද්ධිය අවන්හලේ පිළිගැන්වූ සුප් එකකට සම්බන්ධ නැති නමුත් අමුත්තෙකු ඔවුන්ගේ සුප් වල සුදු ගම්මිරිස් භාවිතා කිරීම හා සම්බන්ධ බවය.


"Cinnamon Lakeside Colombo විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHIs) ඔවුන්ගේ විමර්ශනවලදී ඔවුන් සමඟ සක්‍රීයව සහයෝගයෙන් කටයුතු කර ඇත" යනුවෙන් හෝටල් කළමනාකාරිත්වය පැවසීය.

ඔවුන් කියා සිටියේ තමන් විසින් මිලදී ගන්නා ලද සුදු ගම්මිරිස් තොගය ගැන අභ්‍යන්තර පරීක්ෂණ සිදු කර ඇති බවත්, ගැටලුවක් ලෙස සැලකිය යුතු යමක් සොයා නොගත් බවත්ය.

“එදින අමුත්තන් විශාල සංඛ්‍යාවක් පැමිණි අවන්හලෙන් මෙවැනි වෙනත් සිදුවීම් කිසිවක් වාර්තා වී නැත,” යනුවෙන් එම ප්‍රකාශය අවධාරණය කරයි.
Cinnamon Lakeside Colombo සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී.

තමන් දැඩි සෞඛ්‍ය සහ ආරක්‍ෂිත ප්‍රොටෝකෝල අනුගමනය කරන බවත් දෛනික අමුත්තන් 1,000ක් පමණ වන ඔවුන්ගේ ආරක්‍ෂාව ඉහළම ප්‍රමුඛතාවයක් ලෙස සලකන බවත් නිවේදනය කර තිබේ.