prabath-eranga-dilnesha

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට මරු කැඳවූ රිය අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප්රථය පැදවූ සනත් නිශාන්ත මහතාගේ රියැදුරා ඇප මත මුදාහැරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (05) නියම කළේය.



හලාවත සිට පැය 1, 1/2ක කාලයක් තුළ කොළඹට පැමිණිය යුතු බවට සනත් නිශාන්ත මහතා පනවා තිබූ නියෝගයක් හේතුවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදු වී තිබූ බව කියමින් සනත් නිශාන්ත මහතාගේ රියැදුරා වෙනුවෙන් නීතිඥ තමරා අබේරත්න මහත්මිය කළ ඇප ඉල්ලීම පිළිගනිමින් රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ රියැදුරු බලපත්‍රය යළි නියෝගයක් කරනතුරු අත්හිටු වීමටද නියම කළේය.



මෙලෙස ඇප මත මුදාහැරීමට නියම කරන ලද්දේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් කොස්තාපල් ජයකොඩි මහතාට මරුකැඳවූ කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ අනතුර වන අවස්ථාවේදී සනත් නිශාන්ත මහතා ගමන් කළ වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප්රථය පැදවූ සනත් නිශාන්ත මහතාගේ රියැදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සූරියහෙට්ටි අධිකාරි මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිනේෂා නමැත්තාය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු හා අදාළ වී-8 වර්ගයේ රථය ගැටුණු කන්ටේනර් රථයේ රියැදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා කඳාන පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර මුල් අවස්ථාවේදීම නිරෝෂන් දසනායක නමැත්තා ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරයා නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග ඩිනේෂා නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටි සනත් නිශාන්ත මහතාගේ රියැදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කඳාන පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළහ.



සනත් නිශාන්ත මහතාගේ රියැදුරා වශයෙන් කටයුතු කළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තමරා අබේරත්න මහත්මිය කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම සිද්ධියේදී මියගිය සනත් නිශාන්ත මහතාගේ රියැදුරා වශයෙන් වසර 12ක පමණ කාලයක් සේවය කළ ඔහුට අතිශය හිතැත්තකු බවත් සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයාද දැඩි කම්පාවට පත්ව සිටින බවත් පැවැසුවාය.

සනත් නිශාන්ත මහතාගේ රියැදුරන් වශයෙන් තම සේවාදායකයාට අමතරව තවත් අයකු කටයුතු කළ බවත් සිද්ධිය වූ දින කුරුණෑගල හා හලාවත සාද දෙකකට සහභාගි වූ ඔහු රාත්‍රියේ යළි කොළඹ යෑම දැඩි වෙහෙසකර කටයුත්තක් වන හෙයින් අනෙක් රියැදුරුට රථය බාරදීමේ අරමුණින් ඔහුට හලාවතට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහු එහි පැමිණ නොසිටීම හේතුවෙන් තම සේවාදායකයාටම රථය පදවාගෙන කොළඹ පැමිණීමට සිදුවූයේ යැයිද කී නීතිඥ තමරා අබේරත්න මහත්මිය හලාවත සිට පැය එකහමාරක කාලයක් තුළ කොළඹට පැමිණිය යුතු බවට සනත් නිශාන්ත මහතා පනවා තිබූ නියෝගයක් හේතුවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබුණේ යැයි ද කීවාය.

සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයන් කට වාචාලකමට යම් යම් දූෂමාන ප්‍රචාර පැතිරවූවත් සනත් නිශාන්ත මහතාගේ පවුලේ උදවියත් තම සේවාදායකයාට සිදුවී ඇති තත්වය පිළිබඳ කම්පාවට පත්ව ඇතැයිද පාසල හැරගිය දිනයේ සිට සනත් නිශාන්ත මහතා ළඟ සේවය කරන ඔහුට බොහෝ හිතැති තම සේවාදායකයා ඔහුගේ අතිශය පෞද්ගලික කරුණු පවා දන්නේ යැයිද කී නීතිඥ තමරා අබේරත්න මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියාය.



ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රත්වරයා සිද්ධියට අදාළ පැමිණිල්ල යළි කැඳවන ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියම කළේය.
  මනෝප්‍රිය ගුණසේකර