Problems-with-hydropower-generation-due-to-extreme-dry-weather-possible-for-several-more-weeks

උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය අඩාලවී ඇති බවත් තවත් සති 6කට පමණක්  ජල විදුලිය උත්පාදනය කළ හැකි මට්ටමට ජලාශ හිඳී ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවෝ අනතුරු අඟවති.
දිවයිනටම විදුලිය සැපයීම සඳහා ගිගාවොට් පැය 130ක පමණ ධාරිතාවක් පමණක් මේ වනවිට ඉතිරිව තිබේ.


 කාසල්රි මාවුස්සාකැලේ ජල ධාරිතා 70% ඉක්මවා ඇති අතර සමනල වැව හා රන්දෙනිගල ජලාශවල ජල මට්ටම 85% ඉක්මවා ඇතැයි ද වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 90% ඉක්මවා ඇති නමුත් මෙම ජලාශවලින් පානීය ජලයට සහ ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහැරීමට සිදුවුවහොත් විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලය ප්‍රමාණවත් නොවනු ඇති බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරුවන් අදහස් දක්වා තිබේ.

මෙම පසුබිමෙහි තාප විදුලි බලාගාර වැඩි වශයෙන් යොදාගැනීමට සිදුවීමෙන් විදුලි ඒකකයක නිෂ්පාදන වියදම ජල විදුලි නිෂ්පාදනයට සාපේක්ෂව ඉහළ යෑම වැඩි බව පවසා ඇත.

මේ තත්ත්වය හේතු කරගනිමින් ලංවිම සිය විදුලි නිෂ්පාදන ධාරිතාවෙන් 65%ක් තාප බලාගාර යොදාගනිමින් දැනටමත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර වැඩි ප්‍රතිශතයක තිබූ ජල විදුලි නිෂ්පාදන ධාරිතාව 20% දක්වා අඩු කර තිබේ.



මධ්‍යම කඳුකරයට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.
පසුගිය 19 වනදා පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිලිවෙළින් අඩි 13අඟල් 5 ක් හා අඩි 08 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන,කැනියොන්, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා බ්‍රෝඩ්ලණ්ඩ් යන විදුලිබලාගාර 06 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.