Due-to-the-economic-crisis-the-number-of-depressed-people-in-this-country-has-increased-by-60
වර්තමාන සමාජයේ තිබෙන පීඩනකාරී වටපිටාවත් සමග මිනිසුන් නිරන්තරයෙන්ම මානසික පීඩනයන්ගෙන් යුක්තව ජීවත් වනු දක්නට ලැබේ. මේ වන විට තාක්ෂණයේ ඇති දියුණුවත් සමග මිනිසුන් ඔවුන්ගේ මානසික ගැටලු සඳහාද සමාජ භාවිතයන් තුළින් පිළිතුරු සෙවීමට පටන්ගෙන තිබේ. මෙම තත්ත්වයේ යහපත්,

අයහපත් බව සහ මනෝ වෛද්‍ය උපදේශනයක් ඔබට ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාපිළිවෙත පිළිබඳවත් යම් අවබෝධයක් ලබාගැනීමට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මනෝ උපදේශක, මනෝචිකිත්සක, වෘත්තීය මාර්ගෝපදේශක අකිල ඖෂධ බණ්ඩාර මහතා සදහන් කළ අදහස් මෙසේයි.


මේ වන විට මනෝ වෛද්‍ය උපදෙස් පතන්නන් වැඩි වෙලා -

 අප මේ වන විට සිටින්නේ විවිධ අර්බුදයත් කිහිපයකටම මුහුණදෙමින්. එය තවමත් නතර වෙලා නැහැ. උදාහරණයක් ලෙස අප වසර තිහක් පුරාවට සිවිල් යුද්ධයකට මුහුණදෙනු ලැබුවා. ඉන් පසුවත් ආගමික මූලස්ථාන ප්‍රධාන කොටගෙන එවැනිම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූවා. ඒ වගේම සුනාමි සහ වෙනත් ස්වාභාවික ආපදා සදහාත් නිරන්තරයෙන් මුහුණදෙනු ලබනවා. අපි 2019 වසරෙන් පසු ලෝකයම වෙළාගත් කෝඩ් 19 වෛරස් ව්‍යාප්තියත් සමග සෞඛ්‍යමය අර්බුදයකටත් මුහුණදුන්නා. එයින් පසු ලෝකයම ගෝලීය වශයෙන් මුහුණදෙන ආර්ථික අර්බුදයකට අපේ රටත් දැඩිව මුහුණ දුන්නා. ඒත් සමගම මේ වන විට ඒ පීඩනය වැඩි වෙමින් තිබෙනවා. නිරන්තරයෙන් දේශපාලනික අර්බුද, සාමාජීය අර්බුද ගොඩනැගෙනු ලබනවා. මෙලෙස නිරන්තරයෙන්ම ගොඩනැගෙන අර්බුද හමුවේ අපි විවිධාකාර තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා.

මේ සියලුම අර්බුදයන්ගේ අවසාන ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් මානසික පීඩාවන්ගෙන් පෙළෙන්නන් බවට පත්වීම සිදුවී තිබෙනවා. ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම මිනිසුන්ගේ මානසික අර්බුදයන්වල වැඩි වීමක් සිදු වී තිබෙනවා.

මෙලෙස වැඩි වී තිබෙන මානසික අර්බුද සදහා මනෝ වෛද්‍ය උපදෙස් පතන්නන් සෑමවිටම යම් මට්ටමක සිටිනවා. එනම් ලෝකයේ ආර්ථික අතින් මධ්‍යම ආදායම් ලබන රටවල් තුළ සහ පහළ ආදායම් ලබන රටවල් තුළ එක් මනෝ වෛද්‍යවරයෙකුට ලක්ෂ දෙකක පමණ ජනතාවක් බලන්නට සිදුවී තිබෙනවා. (ලංකාවේ නොවෙයි‍) නමුත් වෛද්‍යවරයෙකුට දවසකට රෝගීන් පරීක්ෂා කළ හැකි ගාණක් තිබෙනවා. එය සීමා සහිතයි. ලෝකයේ සියදිවි නසා ගැනීම් සියයට හැට හතරක් පමණම වාර්තා වන්නේ මේ තුන්වන ලෝකයේ රටවල් වලයි. එයට හේතුව වන්නේ ඔවුන්ට ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රමයක් නැති වීම සහ ඇතැමුන්ට මානසික අර්බුදයක් තිබෙන බවට නොදැනුවත්කම. මේ හේතූන් නිසා බොහෝ විට ප්‍රතිකාර ගැනීම්වලින් වැළකී සිටීමට පෙලඹෙනවා. මේ තත්ත්වය ශ්‍රීලංකාවට අදාළව බලන විට ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම, අධ්‍යාපනික වටපිටාවන් දර්ශකයන් අනුව සීයට අනූ ගණනක තිබෙනවා. නමුත් ඒ ඇතුළත මානසික සෞඛ්‍යය පිළිබඳව තිබෙන දැනුම ඉතාම පහළ මට්ටමක තමයි තිබෙන්නේ. එපමණක් නොවෙයි අප වගේ රටවල්වල මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා වෙන් කරන මුදල් සියයට දෙකකටත් අඩුයි. එම නිසා මානසික ගැටලු සදහා මනෝ විශේෂඥයෙක් හෝ මනෝ චිකිත්සකවරයෙක් හමුවීමට තිබෙන අවස්ථාවන් ලංකාවේ හරිම අඩුයි. මේ පිළිබඳව දැනුම්වත්භාවයක් තිබෙන කෙනා ඒ සඳහා උපදෙස් හෝ බෙහෙත් ලබාගැනීමට යනවා. නොදන්නා කෙනා ඒ පිළිබඳව අවබෝධයකින් තොරව ප්‍රතිකාර නොගෙන සිටිනවා. ශ්‍රී ලාංකීය සමාජයේ ගොඩනැගී තිබෙන ආර්ථික තත්ත්වයත් සමග දරිද්‍රතාව, ප්‍රචණ්ඩත්වය වැනි හේතූන් මත ඇතැම් විට ග්‍රාමීය පරිසරවල, ඉතාම කර්කෂ පරිසරයන්වල ජීවත්වන්නන්ටද මේ ගැටලුව ප්‍රබලව බලපානු ලබනවා. නමුත් ඇත්ත වශයෙන්ම තමා තුළ මානසික අර්බුදයක් තිබෙනවාද කියන කාරණය පිළිබඳව මිනිසුන් තුළ දැනුම්වත්භාවයක් නැහැ. මෑතකදී කළ සමීක්ෂණයකට අනුව මේ වන විට ලංකාව සියදිවි නසාගැනීම සම්බන්ධව ලෝකයෙන්ම හතළිස් එක්වන තැන සිටින බව තහවුරු වුණා. අපේතාමත් මැරෙන ප්‍රමාණයන්ගෙන් ආසන්න වශයෙන් 15%ක් මියයන්නේ සියදිවි නසාගැනීම් හේතුවෙන්. එය සැලකිල්ලට ලක් කළයුතු කාරණයක්. එලෙස වීමට හේතුව අපේරටේ මිනිසුන් මානසික ගැටලුවක් කියන්නේ මොකක්ද, මානසික රෝගයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව නිවැරදිව දැනුම්වත්භාවයක නැහැ. ප්‍රතිකාර සදහා, උපදේශනයන් සදහා එන පිරිස අඩු වෙලා තිබෙනවා. ඒ සඳහා විවිධාකාර හේතූන් බලපා තිබෙනවා. පොදු සෞඛ්‍ය සේවාවන් වල වෛද්‍යවරුන් අඞු වීම, බොහෝ වෛද්‍යවරුන් විදේශගත වී සිටීම, නිසි පුහුණුවකින් තොර පුද්ගලයන් සේවාවන් ලබාදීමට පෙළඹී සිටීම වැනි ගැටලු නිසා පොදු සෞඛ්‍ය ගැටලු සේවාවන් තුළ ගැටලු පැන නැගී තිබෙනවා.


මානසික උපදේශනය සහ ඖෂධීය ප්‍රතිකාර පිළිබඳ නිවැරදි දැනුම්වත්භාවයක් සමාජයේ නෑ -

ලෝකයේ තිබෙන මානසික ගැටලුවලින් 98%කටම ඖඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නෑ. ඒ වගේම සහර මානසික ගැටලුවලට උපදේශනය වගේම ඖෂධ ප්‍රතිකාරත් අවශ්‍ය වනවා. අපේ වැනි රටවල තිබෙන නොදැනුවත්භාවය නිසාම මිනිසුන්මානසික උපදේශනයක් අවශ්‍ය ඇයි, ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ඇයි යන වැටහීමකින් තොරව සිටිනවා. ඒ වගේම දැනුම්වත්භාවයක් නෑ. . ඒ වගේම තමාට ඇත්තටම ඇත්තේ මානසික ගැටලුවක් බව නොදැනුවත්කමින් සිටිනවා වගේම සමාජයේ තිබෙන වැරදි මතිමතාන්තර හේතුවෙන් මානසික රෝග සදහා ප්‍රතිකාර ගැනීමට යොමු වීමට මැලිකමක් දක්වනවා. එයට හේතුව මිනිසෙකුට යම් මානසික ගැටලුවක් තිබෙන බව දැනගත් විට ”ඔහුට පිස්සු හැදිලා” ලෙස සමාජයේ කතාබහට ලක්වීමයි. මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයෙකු දෙස බැලිය යුතු දෘෂ්ටිකෝණය වෙනස් ස්කර ගැනීමට සමාජය මෙතෙක් අපොහොසත් වී තිබෙනවා.

මෙතරම් දියුණු සමාජයක මේ වන තෙක් මානසික රෝගයකට ප්‍රතිකාර ගැනීමට යන අයෙක් තවමත් රෝහලකට හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකට යනු ලබන්නේ ඉතාම හොර රහසෙන්. ඊට අමතරව සමාජයේ ගොඩනැගී තිබෙන උපදේශනය, මනෝ චිකිත්සාව සහ ඖෂධීය ප්‍රතිකාර යන කොටස් තුන තවමත් සමාජයේ පවතින්නේවෙන් වෙන්වයි. මනෝ වෛද්‍යවරයා, මනෝ උප්පදේශකවරයා, මනෝ චිකිත්සකවරයා ලෙස මේ තුන්දෙනා තැන්තුනක අපට දක්නට ලැබෙනව. ඇතැම් විට මේ හැකියාවන් තුනම තිබෙන එපුද්ගලයෙකු දකින්නට ලැබුණොත් බොහෝ දුරට සමාජයේ දක්නට ලැබෙන්නේ මෙම තනතුරු ත්‍රිත්වය විසිරී තිබීමයි.

ඒ නිසාම මෙයින් ප්‍රතිලාභ ලබන උපදේශන ලාභිය එසේත් නොමැති නම් රෝගියාට මනෝ වෛද්‍යවරයෙක් ළඟට ගොස් ඔහුගේ ගැටලුව නිරාකරණය කරගැනීමට හැකි වනවාද එසේත් නොමැති නම් මනෝ චිකිත්සකයෙකු ළඟට යා යුතුද සහ මනෝ උපදේශකවරයකු මුණගැසිය යුතුද යන ගැටලුව පැන නගිනවා. නමුත් මේ ත්‍රිත්වයේ එකතුවක් තිබෙන්වා නම් රෝගියාගේ යහපත් මානසික සෞඛ්‍ය උදෙසා එය වඩාත් හොද තත්ත්වයක් වෙනවා.


සමාජ මාධ්‍යවල මානසික උපදෙස් පතන්නන් වැඩිවෙලා -

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටින්නේත් කෝවිඩ් 19 වසංගතයෙන් පසු මානසික අවපීඩනය 25%කින් වැඩි වී තිබෙන බවයි. ඉන්පසුව පැමිණි ආර්ථික අර්බුද තත්ත්ව හමුවේ මෙම ප්‍රතිශතය සියයට හැටක් දක්වා ඉක්මවා ගොස් ඇති බව සදහන් වනවා. ඒ තුළ මිනිසුන් සියල්ලම සිටින්නේ මහත් ආතතියකින්.

මිනිසාගේ මානසික සෞඛ්‍යය පිළිබඳව කතා කිරීමේදී මේ වන විට මිනිස්සුන්ගේ සබඳතා ජාලයන් බොහොමයක් තිබෙනවා. ඒ අතර youtube, tiktok, facebook, whatsapp group වැනි සමාජ මාධ්‍ය තුළ මානසික ව්‍යාධීන් පිළිබදව නිරන්තරයෙන් දැනුවත් වීම සිදුවනවා. එහිදී අපි පළමුවම බැලිය යුතු කාරණය වන්නේ මේ සමාජ පළ කිරීම් සිදුකරන අයිතිකරුවන් කවුරුන්ද යන වගයි. සමාජ මාධ්‍ය, තාක්ෂණයත් සමග මුසුව පැමිණීම අපට බැහැර කිරීමට නොහැකියි. සමාජ මාධ්‍ය තුළින් සිදුකළ හැකි බොහෝ දේමේවන විට තිබෙනවා. එවැනි දේහපත් අන්දමින් වැඩි දියුණු කර ගැනීමට කටයුතු කළ යුතුයි. රජයේ වගකිවයුතු ආයතන නිසි නියාමනයකින් යුතුව සමාජ මාධ්‍ය භාවිතයට අවශ්‍ය වටපිටාව සාදා දෙනවා නම් සමාජ භාවිතයත් හොඳ මට්ටමක පවතින බව සඳහන් කළ යුතුයි.

මෑතකදී සිදුවූ අපූරු සිදුවීමක් වන්නේ එක්තරා තරුණ පිරිමි ළමයෙකු නගර කිහිපයක බෝඩ් එකක් අල්ලාගෙන තමාට depression තිබූ බවත් ඉන් මිදීම සඳහා සමාජයේ කාත් සමග හෝ කතා කිරීමට මෙලෙස පැමිණි බවත් සඳහන් කරමින් සිටීමයි. ඒ තුළින් නොදැනුවත්ව හෝ සමාප් දැනුවත් කිරීම අතිවිශාලයි. එය සමහර විට ලක්ෂ ගණනින් ප්‍රොමෝෂන් කරහෝ ලබා ගැනීමට බැරි දෙයක්. සමාජ ජාල, වෙබ් අඩවිවලින් බොහෝ දුරට එකම අවස්ථාවකදී වැඩි මිනිසුන් ප්‍රමාණයකට යම් පණිවිඩයක් ලබා දීමට හැකියි. ඒ තුළින් යම්කිසි හොඳ පණිවිඩයක් සමාජගත කිරීමක් සිදුවනවා. අපට සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව නිරන්තරයෙන් ඍණාත්මකව සිතිය නොහැකියි. ඇත්තවශයෙන්ම පීඩනයකින් සිටින පුද්ගලයෙකුට පළමුවෙන්ම වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශනය අවශ්‍ය වුවත් ඊට ප්‍රථමයෙන්ම අවශ්‍ය වන්නේ ඔහු සමග කවුරුන් හෝ සුභදව කතා කිරීම සහ හොඳින් ඇහුම්කත් දීමයි.



එය මේ වනවිට සමාජ මාධ්‍ය තුළින් යම්කිසි මට්ටමකට සිදුවනවා. නමුත් ඉන්පසුව සිදුවන ක්‍රමවේදය වඩාත් යහපත් නොවේ. එනම් හොඳින් ඇහුම්කන් දීම සහ සුහදව කතා කිරීමට අමතරව උපදෙස් දීමක්ද සිදු කරනු ලබනවා. නමුත් නිසි පළපුරුද්දක් හෝ ඒ සදහා නිසි අධ්‍යාපනයක් නොලද කෙනෙකු ඒ සදහා සුදුසුනොවන කාරණයක්. එම නිසා ඔබ සමාජ මාධ්‍ය තුළ ඇති සමූහවල ඔබගේ ගැටලුව සඳහන් කර සිටියත් එයින් යම් අස්වැසිල්ලක් ඔබට ලැබුණත් ඔබ නිරන්තරයෙන් ඒ සඳහා ප්‍රතිකාර හෝ උපදෙස් පැතීමට යනවා නම් ඒ පිළිබදව වඩාත් අවධානයක් ලබාදියයුතුයි. එයට හේතුව නිසි ප්‍රමිතියකින්තොරව මානසික උපදෙස් ඖෂධ ලබා දෙන්නෙක්ද යන වග ඔබ හොඳින් තහවුරු කර ගත යුතු බැවිනි. අපි යම්කිසි පුද්ගලයෙකුගෙන් උපදෙස් පතනවා නම් ඔහුගේ විස්තර සොයා බැලීම වඩාත් වැදගත් වෙන්වා. එසේ නොමැතිව ඖෂධ හෝ උපදෙස් පැතීම තුළින් ඔබේ ජීවිතයටද බලපෑමක් එල්ල විය හැකියි. මෙරට තිබෙන එක් දුර්වලතාවක් වන්නේ උපදේශනය, මනෝ ප්‍රතිකාර, ඖෂධීය ප්‍රතිකාරමේ සියල්ල පිළිබඳව තිබෙන වැරදි මතිමතාන්තරයි. ඇතැම් වෙලාවට මාධ්‍ය මගින්ද පුද්ගලයන් සිදුකරන මානසික ගැටලු පිළිබඳව උපදේශන සුදුසුකම් නොලද පුද්ගලයන් විසින්සිදු කරනු ලබන අවස්ථා දක්නට ලැබෙනවා. එම පුද්ගලයාට හොඳින් කතාබහ කිරීමට හැකි නිසාම ඔහු මානව හැකියා සංවර්ධන පුහුණුකරුවකු ලෙස සමාජයට යම් දෙයක් ලබාදීමට උත්සාහ කරනු ලබනවා. එහිදී ඔහුගේ හැකියාව පිළිබදව ගැටලුවක් නැහැ. නමුත් මානසික සෞඛ්‍යය පිළිබදව කතා කරන විට අනිවාර්යෙන්ම ඔහු තුළ හොඳ දැනුවත්භාවයක් තිබෙන සහ ඒ පිළිබඳව හොඳින් ඉගෙන ගත්, සුදුසුකම්ලත් අයෙකු වීම අවශ්‍ය වෙනවා. මොකද මේ සිදු කරන්නේ මිනිසෙකුගේ මනස සම්බන්ධව ලබාදෙන උපදෙස් බැවිනි.

ඔබ බොහෝ විට සමාජ මාධ්‍යවල ඔබගේ ගැටලු පිළිබඳව සඳහන් කිරීම යම් මට්ටමකින් හොඳයි. ඔබට කතා කිරීමට කෙනෙකු නැති විට එවැනි දෙයකින් ඔබගේ මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීමට හැකි නම් එය හොඳයි. නමුත් සමාජ මාධ්‍ය තුළින් ගැටලුව සඳහන් කර සිටින විට එය විහිළුවට ලක් කිරීමට සාධකයක් සමාජ මාධ්‍ය තුළින් ඇති විය හැකියි. ඒ තුළින් පීඩනයකට ලක් වීමක් සිදුවනවා නම් එය බරපතළ ගැටලුවකි.

ඔබට සමාජ මාධ්‍ය තුළින් ඔබගේ ගැටලුවට පිළිතුරු ලැබෙනවා නම් එහිදී එම පිළිතුරු ලබා දෙන්නේ නියම සුදුස්සෙක්ද යන වග ඔබ හොඳින් සොයා බැලිය යුතුයි. ඒ වගේම සමාජ මාධ්‍ය තුළ තිබෙන දෑ ඥානාන්විත්ව ග්‍රහණය කර ගැනීමට ඔබට හොඳ අවබෝධයක්ද තිබිය යුතුයි. සමාජ මාධ්‍ය තුළ ඇතැම් විට මානසික ප්‍රතිකාර සදහා ලබාගත යුතු ඖෂධ පවා සඳහන්වනවා. එය දරුණු තත්ත්වයක්. උපදෙසක් ලබා දෙනවාට වඩා ඖෂධයක් ලබාදීම දරුණු තත්ත්වයක්. ආවාට ගියාට එලෙස ඖෂධ ලබාදීමක් සිදුකළ නොහැකියි. සමාජ මාධ්‍ය නිරන්තරයෙන්ම ඔබේ ජීවිතයට බද්ධ කර ගැනීමක් සිදු කරන්න එපා. ඔබට මානසික ගැටලුවක් තිබෙනවා නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ඒ සඳහා සුදුස්සෙකුගෙන් ලබාගත යුතුයි. ඒ වගේම ඇතැමුන් මානසික රෝග සදහා එයින් අතුරු ආබාධයක් ඇති වෙයි යන සැකය මත වෛද්‍ය සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගෙ බෙහෙත් ලබා ගැනීමට යම් මැලිකමක් දක්වනවා. නමුත් ඔබ නිරන්තරයෙන් ඔබේ ශාරීරික අපහසුතාවන්ට බෙහෙත් ලබා ගන්නවා. ඒ සඳහා බියක් නොදක්වන බැවින් එලෙසම මානසික රෝග සඳහාද අවශ්‍ය නම් පමණක් ලබාදෙන ප්‍රතිකාර ගැනීමට මැලි විය යුතු නැහැ.


  පියුමිකා වීරසූරිය