cbsl-salary-hike

රටේ පවතින දේශපාලන-ආර්ථික-සමාජ අර්බුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ට පමණක් දැවැන්ත වැටුප් වැඩිවීමක් ලබාදීමට මහ බැංකු පාලක මණ්ඩලය අනුමැතිය ලබාදුන් ආකාරය පැහැදිලි කරන්නැයි වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ඊයේ (18) පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ කාණ්ඩ කිහිපයකටම සියයට 70කට වැඩි වැටුප් වැඩිවීමක් පසුගියදා සිදු කර ඇති අතර එය හෙළිදරව් වීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF), ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන්ගේ අවධානයට යොමු කළ යුතු බව  මන්ත්‍රීවරයා පැවසීය. මුදල් අමාත්‍යාංශය වැටුප් වැඩිවීම තහවුරු කර තිබේ.



සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති විශාල පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති පසුබිමක පෙර නොවූ විරූ ආකාරයේ වැටුප් වැඩිවීමක් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සාපේක්ෂව ධනවත් කොටසකට ලැබුණු තත්ත්වය පිළිබඳව මුදල් විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළ යුතු යයිද ඔහු පැවසීය: “සෞඛ්‍ය අංශයේ සේවකයන්ගේ ඉල්ලීම් මුදල් හිඟකම නිසා ලබාදිය නොහැකි බව මුදල් අමාත්‍යාංශය පුන පුනා ප්‍රකාශ කරද්දී මහ බැංකුවේ සේවකයන්ට සියයට 70කට වඩා වැඩි වැටුප් වැඩිවීමක් ලැබෙන්නේ කෙසේද? රාජ්‍ය මුදල් අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ෂෙහාන් සේමසිංහ යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් මහජන ගැටලුවලට පිළිතුරු දිය යුතුයි.”

මතුව ඇති ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට අදහස් කරන බව කුමාරතුංග මහතා තවත් විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය. "පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ, සිවිල් සමාජය සහ මාධ්‍ය මේ ප්‍රශ්නය දැඩිව අතට ගනිමු" යනුවෙන් ඔහු කියා සිටියේ ඉහළ නිලධාරීන් කොටසකගේ වැටුප් සහ දීමනා රුපියල් ලක්ෂ 6කින් පමණ වැඩි කර ඇති බවයි.



“මෙය සාධාරණ නැහැ. එවැනි ක්‍රියා මොනම තත්ත්වයක් යටතේවත් සාධාරණීකරණය කරන්න බැහැ.” මන්ත්‍රීවරයා පැවසීය. 2024 අයවැය ගැන සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරතුංග කියා සිටියේ රාජ්‍ය මූල්‍ය ඉතා අවදානම් තත්ත්වයක පවතින බවත්, රජයේ සේවකයන්ට එකතැන පල්වෙන පදනමින් වැටුප් වැඩිවීමක් ලබා දුන් බවත්ය.

2022 අප්‍රේල් මාසයේදී ණය ආපසු ගෙවීම අත්හිටුවා ඇති අතර, රට තවමත් ණය ගෙවීම ආරම්භ කර නොමැති අතර ණය හිමියන් සමඟ එකඟතාවයක් නොමැති බව කුමාරතුංග මන්ත්‍රීවරයා පැවසීය. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අනෙකුත් අය සමඟ වරදට හසු වූ මහ බැංකුවට 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු (CBSL) පනත සිය වාසියට යොදා ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම පනතට අනුව, CBSL හි පාලන මණ්ඩලය (GB) මහ බැංකුවේ පරිපාලනය සහ කටයුතු කළමනාකරණය කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාන්‍ය ප්‍රතිපත්ති නිර්ණය කිරීම පිළිබඳ වගකීම දරයි.