වැටුප් වැඩිකර දීමට තරුණ හෝටල් ලිපිකාරිනියගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන දඹුල්ලේ හෝටල් සමූහ ව්‍යාපාරයක මානව සම්පත් කළමනාකාර ගණකාධිකාරීවරයා ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (06දා) නියෝග කළේය.
පුද්ගලික අංශයේ නිලධාරීන් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මේ ආකාරයට ගොනු කරන ලද පළමු නඩුවේ සැකකරු වන මොහු සම්බන්ධයෙනන් තවදුරටත් වවිමර්ශන කරන බව කියමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ දඹුල්ලේ හෝටල් සමූහ ව්‍යාපාරයක මානව සම්පත් කළමනාකාරවරයා සහ ගණකාධිකාරිවරයා වශයෙන් කටයුතු කළ ඩී. එම්. දිසානායක නමැත්තෙකි.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ නීතිඥ සම්බන්දප්පෙරුම මහත්මිය පුද්ගලික අංශයේ අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 47 (5) වගන්තිය ප්‍රකාරව පවරන මුල්ම නඩුව මෙය යැයි දැනුම් දුන්නාය.
තමන් යටතේ සේවය කරන තරුණ සේවිකාවට සියයට 75ක දීමනාවක් ලබාදීමට සහ වැටුප් වැඩිකර දීමට සැකකරු ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයිද සැකකරු හබරණ ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙන් කරමින් ඇය එහි කැඳවූ අවස්ථාවේදී වැටලීමක් කළ කොමිසමේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත්තේ යැයිද කී නීතිඥ සම්බන්දප්පෙරුම මහත්මිය සැකකරුගේ ක්‍රියාව පිළිබඳ පැමිණිලිකාරිය හෝටල් කළමනාකාරවරයාට දැනුම් දීමෙන් පසුව අල්ලස් කොමිසම මෙම වැටලීම කළේ යැයිද කීවාය.
සැකකරු පැමිණිලිකාරියගෙන් ලිංගික අල්ලස් ඉල්ලන අවස්ථාව වන විටත් ඇය එම හෝටලයේම තරුණයකු සමග විවාහ
ගිවිසගෙන සිටි බවද සැකකරු සේවය කළ හෝටලයේ සේවකයන්ගෙන් සහ ලිංගික අල්ලස් ගැනීම සඳහා පැමිණිලිකාරිය කැඳවාගෙන ගිය හෝටලයේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බවත් දැනුම් දුන් නීතිඥ සම්බන්දප්පෙරුම මහත්මිය විමර්ශන අවසන් නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතතුරුව පැමිණිල්ලේ ඉල්ලීමට අවසර දෙමින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පැමිණිල්ල යළි කැඳවන ලබන ලබන 16වැනිදා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමට අල්ලස් කොමිසමට නියම කළේය.
බුද්ධිමාල් රුබේරු
0 Comments