diana-gamage

 රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බල රහිත කිරීම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී ඇපෑල ඉවත දමන්නැයි ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් මූලික විරෝධතා තුනක් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මතු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්මා මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අදාළ මූලික විරෝධතා මතු කෙරිණ.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ගොනු කළ මෙම අභියාචනා පෙත්සමේ වගඋත්තරකාරිය වශයෙන් ඩයනා ගමගේ මහත්මිය නම් කර තිබිණ.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාර ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුවෙන් නිෂ්ප්‍රභ කළ බව සදහන් කළ ඒ මහතා නීතියට පටහැණි එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කර ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මූලික විරෝධතා තුනක් මතුකරමින් මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නැතැයි දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට පටහැණිව මෙම අභියාචනය ගොනු කර ඇතැයි සිය විරෝධතාවලින් පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැක්වු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී එම විරෝධතා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් පෙත්සම් විභාගය ආරම්භ කළේය.

පෙත්සම්කාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා කරුණු දක්වමින් බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තියක් වන රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වීම සහ අසුන් ගැනීම සම්පූර්ණයෙන්ම සහ අසුන් ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි යැයි කීය.



සිද්ධියට අදාළව ඩයනා ගමගේ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශයේදී තමා බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කළ බවත්, ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන නොමැති බවත්, පිළිගෙන ඇතැයි කී නීතිඥ හෆීල් ෆාරිස් මහතා 2015 වසරේදී තමා බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අත්හළ බව ඩයනා ගමගේ මහත්මිය එම ප්‍රකාශයේ සඳහන් කළත් ඒ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැතැයි කීය.

වගඋත්තරකාර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මහතාද කරුණු දැක්වීය. වැඩිදුර පෙත්සම් විභාගය අද (13දා) දක්වා කල් තැබිණ.


බුද්ධිමාල් රුබේරු