dilka-samanmali-speaks

දෙරණ 360' වැඩසටහන ඉදිරිපත් කළ ප්‍රවෘත්ති නිවේදිකා ඩිල්කා සමන්මලී රට අතහැර ලංකාවෙන් සමුගැනීම ගැන විස්තර දැනගැනීමට ඇගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙසේ පවසා තිබේ.


ඩිල්කා හදිසියේ ලංකාව දාලා යනවා කියන්නේ ඇත්තද?
හදිස්සියේමත් නෙමේ. මං ටික දවසකට අම්මලා ළඟට යන්න තීරණය කළා.

වෙන රටකට යන්න හිතුවෙ ඩිල්කටත් මේ රට එපා වෙලාද?
අනේ මට නම් කවදාවත් මම ඉපදුණු, ජීවත්වුණු මේ ලස්සන රට එපා වෙන්නේ නැහැ. රටේ සමහර පාලකයින්ට, මිනිස්සුන්ට මේ රට ගැන හැඟීමක් නැති වුණාට මේක පුදුමාකාර පින්වත්ත භූමියක්.

කොහාටද එතකොට මේ යන්න හදන්නේ?
ඔස්ට්‍රේලියාවට, එහේ මට නුපුරදු තැනක් නෙමෙයි. මගේ අම්මයි, තාත්තයි දැන් අවුරුදු විස්සකට වැඩිය එහේ ජීවත්වෙනවා. එයාලා එහෙ පුරවැසියෝ. මටත් කලින් ඉඳලම එහේ ස්ථිර පදිංචිය ලැබිලයි තිබුණේ. ඒත් මම එහේ පදිංචියට ගියේ නැහැ.

මං අම්මලව බලන්න එන්නේ නැහැ
කියලා ඒ අය මට නිතරම චෝදනා කරනවා. ඉතින් ඒ අය ගැනත් දැන් ටිකක් හිතන්න ඕනේ කියලා මම හිතුවා. අනික මම නිතරම හිතපු දෙයක් තමයි අම්මා කෙනෙක් විදියට දරුවන්ගේ වගකීම් හොඳින් ඉෂ්ට කරන්න ඕන කියන එක. ඉතින් මම ඒ හැමදේම හොයලා බලලා හරියටම කළා. හැබැයි වෘත්තීය කාර්යබහුලත්වය එක්ක මට ගොඩක් දේවල් සමබර කරගන්න වුණා. ඒක හරිම වෙහෙසකාරි වැඩක්. ඉතින් දරුවෝ වෙනුවෙන් කැපවෙන්න
මේක තමයි හොඳම වෙලාව කියලා මට හිතුණා. මොකද මේ කාලෙදි දරුවෝ මග ඇරුණෝතින් මට දවසක පසුතැවෙන්න වෙයි. එයාලගේ පුංචි කාලේ ආයේ එන්නේ නැහැනේ.

මාධ්‍යවේදිනියක් විදියට මේ දක්වා ආපු ගමන ගැන ඩිල්කා තෘප්තිමත්ද?
ඔව්. ඒ ගමන ගැන මම හුඟක් තෘප්තිමත්. ඇත්තම කිව්වොත් මට මගේ ගැන ආඩම්බරයි. මනෝවිද්‍යා උපදේශකවරියක් වෙන්න ඉගෙනගෙන මම වෙනම පාරක ගියා. ඔය අතරේ සිළුමිණ පුවත්පතට සම්බන්ධ වෙලා ලියන්න ඉගෙනගත්තා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් හඬ පුහුණුවීම් කළා. රූපවාහිනියේ මූලික දේවල් ටික ඉගෙනගත්තේ TV Lanka එකෙන්. TV දෙරණට සම්බන්ධ වුණේ ඔය අතරේයි. TV දෙරණ කියන්නේ මගේ මහගෙදර. මගේ අවුරුදු 22ක මාධ්‍ය ජීවිතයේ අවුරුදු 18ක්ම ගෙවුණේ TV දෙරණ එක්ක. දෙරණෙන් සමුගන්න මොහොතෙදිත් මට මාව දැනෙන්නේ දෙරණට මුලින්ම ආපු ඩිල්කා විදියටමයි. හැබැයි මම සමුගන්නේ හැමෝගෙම ආදරය, ගෞරවය එක්ක.



අවුරුදු 22ක මාධ්‍ය ජීවිතේට සමුදෙන එක මොන වගේ හැඟීමක්ද?
මාධ්‍යවේදිනියක් හෝ ලංකාවේ ජනප්‍රිය පුරවැසියෙක් වෙන්න මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම නිතරම මේ මොහොත තුළ ජීවත්වෙන කෙනෙක්. ඒ මොහොතේ මට ලැබුණ රාජකාරී හිතට එකඟව ඉෂ්ට කළා. මොකද කොහොම වුණත් අවසානෙදි අපි තනිවෙන්නේ අපේ හෘද සාක්ෂිය එක්ක. හෘද සාක්ෂියට අනුව වැඩ කළ නිසා මට ගෞරවයයි, ආදරයයි ඇති තරම් ලැබුණා. සතුටින් සමුගන්න මට ඒකම ඇති.

මාධ්‍ය ජීවිනේදී රසවත් අත්දැකීම් වගේම කටුක අත්දැකීමුත් ඩිල්කා විඳලා තියෙනවා?
අපෝ ඔව්. මම හිතන්නේ මාධ්‍ය ලෝකයේ වැඩිම ද්වේශ සහගත ප්‍රහාරවලට ලක්වුණ කාන්තාව මම. හැබැයි මාධ්‍යවේදිනියක් විදියට මම ලබපු ඒ හැම අත්දැකීමක්ම මොකක් හරි විදියකින් මාව පෝෂණය කළා. මං දන්නෙවත් නැති මට සම්බන්ධ ඕපාදූප සමාජ මාධ්‍යවල පළවුණු අවස්ථා තිබුණා. හැබැයි ඒ තැන් ගැන මට තිබුණේ උපේක්ෂා සහගත හැඟීමක්. හිස් මිනිස්සුන්ගේ හිස් අදහස්වලට මම කම්පාවෙන්න ඕන නැහැ කියන එක මම තේරුම්ගත්තා. ඒ දේවල් නිසා මගේ ගමන ශක්තිමත් වුණා මිසක දශමෙකින්වත් ආපස්සට හැරුණේ නැහැ. ඉතින් එහෙම කරපු හැමෝටම ස්තුතියි. මොකද මම පල සහිත ගහක් කියලා මට අවබෝධ වුණේ ඒ දේවල් නිසයි.

මාධ්‍ය ජීවිතේ හැදුනු මිතුරෝ ඕනතරමි ඇති. සතුරෝ හැදිලා නැද්ද?
හතුරොත් ඇති. හැබැයි මම ඒ අය ගැන දන්නේ නැහැ. මොකද මිතුරුකම් කරන අය ගැන විනා සතුරුකම් කරන අය ගැන මම වැඩිය හිතන්න යන්නේ නෑ. හොඳ මිතුරුකම් ගොඩක් හැදිලා තියෙද්දි ඒවා ගැන හිතලා සතුටු වෙනවා මිසක් සතුරුකම් ගැන හිතලා හිත කලබල කරගන්නේ මොකටද?



මිත්‍රකම් වැඩිපුරම හැදුනු දෙරණ පවුල දාලා යන්න දුක නැද්ද?
ගොඩක් දුකයි. මේක අපි හැදුනු තැන. 'දෙරණ අපි කියන්නෙ වෙනම සංකල්පයක්. හැබැයි පවුල වෙනුවෙන් තීරණයක් ගන්න ඕන වුණොත් මං පවුල ගැන හිතන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලා මං මීට කලිනුත් මාධ්‍යට කියලා තියෙනවා. එහෙමයි කියලා මම දෙරණ පවුල දාලා යන්නෙත් නැහැ. මම හැමදාම දෙරණ පවුලේ සාමාජිකාවක්. ඒත් මේ වෙලාවේ මට දරුවන්ට මූලිකත්වය දෙන්න වෙනවා. මොකද යහපත් දරුවෝ තුන්දෙනෙක් සමාජයට දෙන්න බැරි වුණොත් මම හොඳ අම්මා කෙනෙක් නෙමෙයිනේ. දෙරණ කියන්නේ හැමදාම ඒ වගේ පුද්ගල භූමිකාවල තියෙන බැඳීම ආරක්ෂා කරගත්තු මාධ්‍ය ආයතයනක්.

ඔබ රූපවාහිනී මාධ්‍යයේ නම් තැබූ පුරාවෘත්තයක් කියලයි අපිට හිතෙන්නේ. ඉතින් අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන අයට දෙන උපදෙස මොකක්ද?

මූලිකම දේ හැදෑරීම අතාරින්න එපා. මේක අපේ පුද්ගලික ගුණාංග මුවහත් කරගෙන යන්න ඕන ගමනක් මිසක් එකිනෙකාට පීඩා කරමින් යන්න සුදුසු ගමනක් නෙවේ. මේ ළඟකදි සහෝදර මාධ්‍ය ආයතනයක ළමයෙක් මං සම්බන්ධව දාලා තිබුණු පෝස්ට් එකකට හිත රිද්දගත්තු මගේ යාළුවෙක් ආධුනික ප්‍රවෘත්ති නිවේදිකාවක් වැඩිමල් ප්‍රවෘත්ති නිවේදිකාවකට මෙහෙම කියන්නේ කොහොමද කියලා මගෙන් ඇහුවා. එයා කරන දේ එයාට. මං කරන දේ මට කියන එකයි මම ඒ මිතුරියට දීපු උත්තරේ. ඉතින් හැම මොහොතකම දෙයක් ඉගෙනගන්න ගමන් පිරුණු මනුස්සයෙක් වෙන්න. එහෙම මාධ්‍යවේදියෙක්ගෙන් සමාජයට යන්නේ පිරුණු අදහස්.



ඉතින් ඩිල්කා ආයෙත් මාධ්‍යවේදිනියක්, වැඩසටහන් ඉදිරිපත්කරන්නියක්  විදියට අපිට ඔබව දකින්න ලැබෙන එකක් නැද්ද?
එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක මට මේ වෙලාවේ කියන්න බෑ.

අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
ඇත්තටම මම මීට පෙර අවස්ථා තුනකදී දෙරණෙන් ඉවත්වෙන්න ඉල්ලීම් කළත් දෙරණ විධායක අධ්‍යක්ෂතුමන් මාධව මඩවල මහතා මට ඒකට අවස්ථාව දුන්නේ නැහැ. මම මේ හැමදේම සමබරව කරගෙන යන්න පුළුවන් විදියේ කෙනෙක් කියලා ඔහු විශ්වාස කළා. ඇත්තටම මමත් ඒක කළා. ඒත් ඉතින් අපි මිනිස්සුනේ, අපිටත් වෙහෙස දැනෙනවා. මේ වෙලාව දරුවෝ වෙනුවෙන් විතරක් වෙන් කරන්න හොඳම වෙලාව කියලා මම හිතුවේ ඒ නිසයි. ඇත්තටම අවුරුදු 18ක් පුරාවට දෙරණ කියන පවුල ඇතුළේ සන්නාමයක් විදියට මට ගොඩනැගෙන්න දිලිත් ජයවීර මහතා, මාධව මඩවල මහතා, වරුණි අමුණුගම මහත්මිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වයෙන් ලැබුණු නිදහසට මම ස්තුති කරන්න ඕනේ. ඒ නිදහස නොතිබුණා නම් මම මාධ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ මෙච්චර කල් රැඳෙන්නෙ නැති වෙන්න තිබුණා. ඉතින් ඉහළ කළමනාකාරීත්වයේ සියලුමදෙනාට මගේ ස්තූතිය පිරිනමන්න මේක මම අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම මාත් එක්ක හැමදේකදිම එකට හිටපු වසන්ති අක්කා, සාරංග අයියා, චතුර, ජනිතා, සංක අයියා ඇතුළු ප්‍රවෘත්ති අංශයේ සියලුම සහෝදර සහෝදරියන්ටත් ස්තුතියි. ඒ වගේම වැඩසටහන් අංශයේත්, නිෂ්පාදන කණ්ඩායම්වල සියලුමදෙනාටත් මම ස්තූතිවන්ත වෙන්න ඕනේ. නම් වශයෙන් කිව්වොත් නම් තව ගොඩක් අය ඉන්නවා මගේ ළඟින් ඉඳගෙන සහයෝගයෙන් වැඩ කරපු. ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි.


-සෙව්වන්දි හෙට්ටිආරච්චි (ධරණී)