ethuma-palamalla-thalangama-jayasinghe

දශක හයකට වැඩි කලක් පෑනෙන් සහ තෙලිතුඩින් චිත්‍රකතා සහ කාටුන් ඔපවත් කළ රසවත් කළ ප්‍රවීණ සහ ජනප්‍රිය චිත්‍රකතා සහ කාටුන් ශිල්පී තලංගම ජයසිංහ මහතා පෙරේදා (7) රාත්‍රියේ සිය දිවි සැරිය නිමා කළේය.මියයන විට 88 වන වියේ පසුවූ ඒ මහතා මෑතක් වනතුරුම ලංකාදීපයට නිර්මාණය කළ එතුමා සහ පලාමල්ල කාටුන් සහ අනේද කියන්නේ ' යන සිවුපද කවිය පාඨකයන් අතර අතිශය ජනප්‍රිය විය.

ඔහු පුතුන් සිවු දෙනකුගේ සහ එක් දියණියකගේ ආදරණීය පියාණන් විය. තලංගම ජයසිංහ යන අන්වර්ථ නාමය ඒ මහතා භාවිත කළ ද ඔහුගේ උප්පැන්න සහතිකයේ සඳහන් නම වනුයේ ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ යනුවෙනි.දකුණු තලංගම විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ආදි ශිෂ්‍යයෙකු වූ ජයසිංහ මහතා එකල පැවැති ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය සමත් වීමෙන් පසු රජයේ කලායතනයකට බැඳී වසර පහක් චිත්‍ර කලා පාඨමාලාවක් හැදෑරීය.

ජයසිංහ මහතා වයස අවුරුදු 18 දී (1954) පළමු වරට,

ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතට සම්පාදනය කළ ‘චිත්රා' චිත්‍රකතාව ඔහුගේ ප්‍රථම චිත්‍රකතා නිර්මාණය ලෙස සැලකේ. රජයේ කලායතනයෙන් පිටවූ පසු 1957 දී හෙතෙම ලේක් හවුස් ආයතනයේ නිත්‍ය සේවයට එක්ව ප්‍රකාශන රැසකට චිත්‍රකතා සහ කාටුන් නිර්මාණය කළේය. ඒවා අතර ඇටසැකිල්ල, මිනිස් දඩයම, පණට පණ, මා ආලය කළ තරුණිය, ව්‍යාඝ්‍රයෝ යන චිත්‍රකතා වේ.

චිත්‍රකතා 72 ක් පමණ නිර්මාණය කර ඇති තලංගම ජයසිංහගේ අතින් හැඩ වූ චිත්‍රකතා අතර වඩාත් රසික අවධානයට හා ජනප්‍රියත්වයට තුඩු දුන් චිත්‍රකතාව වූයේ ‘වියරු මුහුද චිත්‍රකතාවය. පසු කලෙක එච්. ඩී. ප්‍රේමරත්න සිනමාවේදියා 'සප්ත කන්‍යා' නමින් සිනමාවට නැගීය.ලේක්හවුස් ප්‍රකාශනයක් වන ‘මධුර' චිත්‍රකතා පුවත්පතේ කතුවරයා ලෙසින් වසර 18 ක් කටයුතු කළ ජයසිංහ මහතා පසුකලෙක විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතේ කාටුන් ශිල්පියකු ලෙස මියයන තුරුම සේවය කළේය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය පිරිනැමූ ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සම්මානයෙන්ද තලංගම ජයසිංහ මහතා පිදිමු ලැබීය. දේහය බොරැල්ල ජයරත්න මශාලාවේ තැන්පත් කර ඇති අතර ඔහුගේ ඉල්ලීමකට අනුව පැය 24 ක් තුළ අවසන් කටයුතු කිරීමට සැලසුම් කළ බව පවුලේ සාමාජිකයෙක් පැවසීය.දේහය බොරැල්ල ජයරත්න මශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (9) පෙරවරු 11.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

ආරියරත්න රණබාහු