fonseka-sajith-court

සමගි ජන බලවේගයේ සභාපති තනතුර දරන තමාගේ තනතුර අත්හිටුවීම හෝ පහ කිරීම වළක්වාලන්නයි ඉල්ලා ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දිසා අධිකරණයට පෙත්සමක්  ගොනු කරන ලද අතර එය සලකා බලා  දින 14ක් දක්වා බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් අද (19) නිකුත් කර තිබේ.


සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර තිබු අතර මෙයට ආසන්න හේතුව වී ඇත්තේ පසුගියදා දයා රත්නායක ඇතුළු ෆොන්සේකා සමග අමනාප හිටපු හමුදා ප්‍රධානීන් සජබයේ සාමාජිකත්වයට බඳවාගැනීම  ෆොන්සේකා විවේචනයට ලක්කිරීමත් ඉන් පසු ඔහු ජනපති රනිල් හමුවීම,

රාජාසන කතාවට සාවොම පිටව යද්දී රනිල්ට පක්ෂපාතීව පාර්ලිමේන්තුවේ රැඳී සිටීම ඇතුලු ක්‍රියාකාරකම් වල නිරතවීමයි. මෙම සිදුවීම් වලින් පසු සභාපතිවරයා හා පක්ෂය අතර දුරස්ථ බවක් පැනනැගී ඇති අතර තනතුරු අහිමිවීම ගැන අවදානමක් මතුව තිබේ.
සරත් ෆොන්සේකා තමුන් සභාපති ධුරයෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා නඩු මඟට යාමට සැරසෙන බව තොරතුරු දැනගන්නට ලබුණු බවත් , නඩු දානවා නම් සමඟි ජනබලවේගයට දැනුම්දීමක් කර යන ලෙසත් , සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ කියා තිබුණි.
පක්ෂයක සිටින විට කාට වුවද ගැටලු මතුවන බවත් ඒවා පක්ෂය තුළ දී කතා බහ කර විසඳාගත යුතු දේවල් බවත් ඔහු කියා සිටියේය.
 “මම දැක්කා වෙබ් සයිට් එකක දාලා තිබුණා එතුමා ජනාධිපතිතුමාව හම්බ වෙනවලු ඩයනා ගමගේ මහත්මියගෙ නිවසේදි.

මොකද ඩයනා ගමගේගෙ මහත්තයා තමයි සරත් ෆොන්සේකා මහත්මයාගෙ හිටපු ලේකම්වරයා. සමගි ජන බලවේගය සමඟ ඉන්නවා නම් සමගි ජන බලවේගය සමඟ ඉන්න ඕනෙ. රනිල් මහත්මයා එක්ක ඉන්නවා නම් එතන්ට යන්න ඕනෙ. විශේෂයෙන්ම කියන්න ඕනෙ හමුදාපති කරපු කෙනත් එක්ක තරහ වුණා. කේක් කවපු කෙනත් එක්ක තරහ වුණා. ෆීල්ඩ් මාර්ෂල් කරපු කෙනත් එක්කත් තරහ වුණා. පැරදිලා ඉන්න අවස්ථාවක ඇමැතිකමක් දුන්න කෙනත් එක්කත් තරහ වුණා. පක්ෂයක ඉන්නකොට අපිට වුණත් ප්‍රශ්න තියනවා. ඒවා කතා බහ කරලා විසඳ ගන්න ඕනෙ, එළියෙදි පුහු වීරයො වෙලා උසාවියෙ සරණ පතන්න යන්නෙ නැතුව” යැයි පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා කියා සිටියේ

“අපි සරත් ෆොන්සේකා මැතිතුමාව සමගි ජන බලවේගයේ සභාපතිවරයා හැටියට පත්කරගත්තේ එතුමා පිළිබඳ විශාල ගෞරවයකින්, එතුමා පිළිබඳ විශේෂ විශ්වාසයකින්. හැබැයි දැන් අපට පේනවා සරත් ෆොන්සේකා මැතිතුමා හැසිරෙන්නෙ හමුදාපතිවරයකුට, ෆීල්ඩ් මාර්ෂල්වරයකුට තිබිය යුතු විනය, පෞරුෂය, පරිණතභාවය, මේ කිසිම දෙයක් නැතිව සාමාන්‍යයෙන් ළාබාල සොල්දාදුවෙක් වගේ.


“ රටකජු වෙළඳාම් කරන කෙනෙක් ඒ භූමියට තවත් රටකජු වෙළෙන්දෙක් ආවාම අර වෙළෙන්දාට කචල් එකක් අදිනවා. දේශපාලන පක්ෂයක එහෙම බෑ.  උපකාරයක් කරපු අයට පෙරළා දෂ්ට කිරීමේ සංසාරගත පුරුද්දක් සරත් ෆොන්සේකා මහත්තයාගෙන් පේනවා.“
“මේ ක්‍රියාකලාපය ගැන අපිට සහ පක්ෂයේ ක්‍රියාකාරීන්ට බලවත් පිළිකුලක් අප්පිරියාවක් නම් ඇතිවෙලා තියෙනවා. කරුණාකරලා ඒ පිළිකුල අප්පිරියාව තවදුරටත් වැඩිකරගන්නෙ නැතුව එතුමා විනයක් ඇතිව පක්ෂ සභාපති හැටියට කරන්න තියෙන දේ කරගෙන ගියොත් අධිකරණවලින් වාරණ ඉල්ලන්න අවශ්‍ය වෙන්නෙ නෑ”