girl-friend-wethara-incident

සිය පෙම්වතිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගියැයි උරණ වූ තරුණයකු තවත් තරුණයකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

පහර කෑමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ තරුණයා ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.



සැකකරු තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම සම්බන්ධතාවය මීට මාස කිහිපයකට පෙර නවත්වා ඇති අතර පසුව පහර කෑමට ලක් වූ තරුණයා සමග අලුතින් සම්බන්ධතාවයක් ආරම්භ කර තිබේ.

මේ පිළිබඳව අවස්ථා කිහිපයක දී තරුණියට සහ තරුණයාට සැකකරු පවසා ඇත්තේ මෙම සම්බන්ධතාව නවත්වන ලෙසටයි.

එහෙත් සම්බන්ධතාව නොනැවැත් වූ නිසා තරුණයා අමතා සැකකරු පවසා ඇත්තේ මේ පිළිබඳව කතාබහ කිරීමට තරුණයා හමුවීමට පැමිණෙන බවයි.



ඒ අනුව තවත් මිතුරන් දස දෙනෙකු සමග පහර කෑමට ලක් වූ තරුණයා කහතුඩුව වෙනිවැල්කොළ ප්‍රදේශයේ බුදුපිළිමය අසලට පැමිණ ඉන් මඳක් ඔබ්බට ගොස් සැකකරු සමග මේ පිළිබඳව කතාබහ කරමින් සිට ඇති අතර එම අවස්ථාවේ දී එක්වරම සැකකරු අත තිබූ උල් ආයුධයකින් මොහුගේ ගෙලට පහර දී තුවාල සිදුකොට යතුරු පැදියකින් කහතුඩුව දෙසට පලාගොස් ඇති බව පොලීසිය කියයි.

පසුව ඔහු සමඟ රැඳී සිටි මිතුරන් එක්ව පහර කෑමට ලක් වූ තරුණයා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ රැඳී සිටි මිතුරා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පහරදීමට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් වූ ගැටලුවක් බවත් මොරටුව කෝල්විස් මාවත ප්‍රදේශයේ පුද්ගලයකු මෙසේ පහර දී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.


 මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න