harin-speaks

ලෝකයේ කිසිම රටක ක්‍රීඩා කණ්ඩායම්වලට ක්‍රීඩා ඇමති අනුමැතිය ලබාගත යුතු ක්‍රියාදාමයක් නොමැති බවත් එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයාට ලැබුණු වැරදි ඔටුන්නක් බවත් ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පෙරේදා (31) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහිදී හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ රටේ යල් පැනගිය ක්‍රීඩා පනත වෙනස් කරමින් ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල කප්පාදු කරන නව ක්‍රීඩා පනතක් සකස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් උපදෙස් ලබාදී තිබෙන බවයි.

මෙම මාධ්‍ය හමුවේදී ඇමති හරින් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය. "ක්‍රීඩා කණ්ඩායම් ඇමති අනුමැතිය ගත යුතුයි කියන නීතිය වඩාත්ම ක්‍රියාත්මක කරන්න වුණේ එල්.ටී.ටී.ඊ.ය වගේ සංවිධාන ක්‍රියාත්මක වුණු අවධියේ. මොකද අපේ රටේ සමහර ක්‍රීඩකයන් එල්.ටී.ටී.ඊ.යේ කොඩියෙන් පිටරට යනවද කියලා හොයලා බලන්න වුණු කාලයකුත් රටේ තිබුණා.



ක්‍රීඩා කණ්ඩායම්වලට අනුමැතිය දීම ක්‍රීඩා ඇමතිවරයා නොවෙයි ස්වාධීන කමිටුවකට පැවරිය යුතුයැයි මම කියනවා. ඇමති අනුමැතිය දෙන මේ ක්‍රමය දේශපාලනීකරණය වීමක් වගේ.

රටේ ක්‍රිකට් ප්‍රශ්නය මඩ ගහගෙන විසඳන්න බෑ. දැන් වෙලා තියෙන්නේ අපි උඩ බලාගෙන කෙළ ගහගන්න එකයි. හිටපු ක්‍රීඩා ඇමැතිවරයායි තව කෙනෙකුයි එකතුවෙලා මට දැන් මඩ ගහගෙන යනවා. විවිධ අවලාද නගනවා. මම ඒ එකකටවත් උත්තර දෙන්න යන්නේ නෑ.

රටේ ක්‍රිකට්වල ප්‍රශ්නයක් තිබෙනවා. එය විසඳිය යුතුයි. ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වියදම් කරන හැම රුපියලක්ම දීලා තිබෙන්නේ අයි.සී.සී.ය මිසක් මුදල් අමාත්‍යාංශය නොවෙයි. ඒ හින්දා ක්‍රීඩා අමාත්‍යාංශයට ක්‍රිකට් ප්‍රශ්නයට උවමනා විදියට මැදිහත් වෙන්න බෑ.

රටේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් වැඩි ප්‍රමාණයක් වෙන්නේ බෙත්තාරාම (ආර්. ප්‍රේමදාස) ක්‍රීඩාංගනයේදී. නමුත් එතන පඩි ගන්න සමහර අය මාස ගණනකින් ගිහිල්ලා නෑ.



නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් ඉදිරියේදී එළිදක්වනවා. එතනදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්ද ගණන 60කට සීමා කරන්න යෝජනා වෙලා තිබෙනවා. ඊට සියලු පාර්ශ්වවල සුබවාදී අදහස් පළ වෙලා තිබෙනවා.

රටේ ක්‍රිකට් ක්‍රීඩාව අද තියෙන්නේ මාතර ඉදලා කොළඹ ප්‍රදේශ කීපයක විතරයි. කුරුණෑගල වගේ ප්‍රදේශයකින් රංගන හේරත් වගේ එක්කෙනෙක් දෙන්නෙක් ආවා. නුවරින් කුමාර් සංගක්කාර, මුරලිදරන් වගේ අය ආවා. වෙන රටේ ක්‍රිකට් තියෙන්නේ කොහේද?

මේ වෙන තෙක් බදුල්ලෙන් සීගිරියෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇවිල්ලා තිබෙනවද? රටේ ක්‍රීඩාංගණ රුපියල් මිලියන තුන්සිය ගණන් වියදම් කරලා හදලා ටික දවසකින් ජරාවාස වෙලා තිබෙනවා. රටේම ක්‍රීඩාංගණවල තත්වය මෙයයි. ඉදිරියේදී අපි පෞද්ගලික අංශයත් සම්බන්ධ කර ගනිමින් රටේ ක්‍රීඩාංගණ පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.



ආසියානු පාපන්දු සමුළුවේ සභාපතිතුමා අපිට පොරොන්දු වෙලා තිබෙනවා කටාන ප්‍රදේශයේ ඉදිවන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයකට අනුග්‍රාහකත්වය ලබා දෙන්න. ලබන අප්‍රේල් මාසයේදී ඔහු ඒ සඳහා ලංකාවට එනවා.

සූරියවැව ක්‍රීඩාංගණයේ දී මීළඟ අයි.පී.එල්. තරගාවලියේ තරග දෙක තුනක් තියන්න මා කළ ඉල්ලීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඉතාම සුබවාදී ප්‍රතිචාර පළ කරලා තිබෙනවා.

ඇමති ධුරයට ආවට පස්සේ ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කමිටුවක් පත් කළා කියලා මාධ්‍යවල පළ වුණා. එය අසත්‍යයක්. නමුත් අයි. සී.සී. සභාපති අපිට පොරොන්දු වෙලා තිබෙනවා අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාව හදනකොට තාක්ෂණික පැත්තෙන් උදව් දෙන්නට. සනත් ජයසූරිය මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරකට පත් කළාට පස්සේ මම හොයලා බැලුවා එතුමා මොනවද කරන්නේ කියලා. දැන් එතුමා මේ දවස්වල ඉන්නේ දකුණු අප්‍රිකාවේ. මම හොයලා බැලුවා පඬිය ගත්තද කියලා. ඒත් එතුමා තාම පඩිය අරගෙන නෑ.


  නාමල් පතිරගේ