health-cid-questionaning

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ  එන්නත් රජයේ රෝහල්වලට ඛෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් රහස් පොලිසිය ඊයේ (31) පැය 10 ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි වාර්තා වේ.

රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව ඊයේ උදේ 10.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි සමන් රත්නායක මහතාගෙන් සිද්ධියට අදාළව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් මෙලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය, ඖෂධ සැපයුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රමවේදය, තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදී ගන්නා ගන්නා ක්‍රමවේදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙන්ම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දුන් ඖෂධ වර්ග 167 සැපයීමට තෝරාගත් සැපයුම්කරුවන් 38 දෙනාගෙන් සැපයුම්කරුවන් සිවුදෙනකු පමණක් අනුකමිටුවට යැවීමට හේතු වූ පදනම පිළිබඳව ද සමන් රත්නායක මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.



ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන “ඉමියුනෝග්ලෝබින්” පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව' කළ පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සමන් රත්නායක මහතා ඊයේ රාත්‍රී 7.30ට පමණ රහස් පොලිසියෙන් නික්ම ගියේය.

ගයාන් සූරියආරච්චි