health-equipment-issue

ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන ප්‍රමුඛතා ලැයිස්තුවේ උපකරණ වර්ග 5,800න් 3,800කට ආසන්න ප්‍රමාණයක දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ  වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය පෙන්වා දෙයි.



සමහර උපකරණ රෝහල් තුළ නොමැති බවත් මේ නිසා ශල්‍යකර්ම සිදු කිර්මේදී විශාල ගැටලු ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙන බවත් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහා පැවසීය.



හිඟව පවතින උපකරණ අතර හෘද ස්ටෙන්ට්, අක්ෂි කාච, අස්ථි ශල්‍යකර්ම සඳහා වන උපකරණ, හදිසි වෛද්‍ය ප්‍රතිකාර හා දැඩිසත්කාර ඒකකවල අපහසුතා පවතින රෝගීන්ට අවශ්‍ය ශ්වසන බට, මුත්‍රා බට ඇතුළු කුඩා පරිමාණයේ සිට මහා පරිමාණ ශල්‍යකර්ම දක්වා අවශ්‍ය වන බොහෝ ශල්‍ය උපකරණවල හිඟයක් පවතින බවද පවසා සිටියේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ධුරයෙන් ඉවත්කොට මාස පහකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් ජාලයේ සම්බන්ධ වන ප්‍රශ්න මේ දක්වා නිරාකරණය වී නොමැති බවද සඳහන් කළේය.



රට තුළට ගෙන්වා තිබෙන ඖෂධ තොග රෝහල්වලට ලබා නොගැනීම හා හිඟව පවතින උපකරණ නිවැරදි ලෙස මිලදී ගැනීම සිදු නොකිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බවද පවසා සිටියේය.

මීට අමතරව ශල්‍ය උපකරණ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හැරීම නිසා දේශීය සහ විදේශීය සැපයුම්කරුවන්ට පසුගිය කාලයේ සිදුකළ සැපයුම් සඳහා රුපියල් බිලියන විස්සකට අධික මුදලක් ගෙවීමට තිබෙන බවටත් වාර්තා වන බවද සඳහන් කළේය.

මේ නිසා බොහෝ සැපයුම්කරුවන් ශල්‍ය උපකරණ සැපයීම නතර කර තිබෙන බවට වාර්තා වන බවත් මේ නිසා කඩිනමින් මෙම ගැටලු විසඳීමට කටයුතු කළ යුතු බවද පවසා සිටියේය.


ඉන්දික හේවාවිතාරණ