health-sector-strike-called-off

ජනතාව අපහසුතාවයට පත් කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය හෙට ⁣(15) උදෑසන 6.30 ට අවසන් කිරීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෘත්තීය සමිති එකමුතුව වෙත ලබන සදුදා සාකච්ඡා කිරීමට එක්වීම නිසා මෙම තීරණය ගෙන ඇත.





වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000 ක ඩැට් දීමනාවට සාපේක්ෂව තමන්ටත් දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා වෘත්තිය සමිති මෙම අඛණ්ඩ වර්ජනය ආරම්භ කළේ ඊයේ පෙරවරු 6.30 සිටය.

 සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණත් මෙම වර්ජනය ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලයද වර්ජනයට සහය පළ කර දහවල් කෑම පැයේ විරෝධතාවක නිරත විය.



තම දීමනා ලබා දීමට කටයුතු නොකළ හොත් ඉදිරියේදී වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව මහරගම අපේක්ෂා රෝහලේ සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින් දන්වා ඇති අතර දීමනා සහ නිල ඇදුම් ගැටලුවට සාධනීය පිළිතුරක් ලබා දෙන්නැයි ඉල්ලා සමස්ත ලංකා හෙද සංගමයද අද (14) කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවක නිරතවී තිබුණි.

රෝහල් සේවා පවත්වා ගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,400 කට වැඩි පිරිසක් අදත් රෝහල් රැසක් වෙත අනුයුක්ත කර තිබුණි.