homagama-incident

හෝමාගම, මාඹුල්ගොඩ නිවසක් පිටුපස අතහැර දමා තිබූ අඩි අටක් පමණ ගැඹුරු අනාරක්ෂිත වැසිකිළි වළක කොන්ක්‍රීට් ලෑලි දෙකක් කඩාවැටීමෙන් නිවසේ සුනඛයා සහ කාන්තාවක එම වළට වැටී කොන්ක්‍රීට් ලෑල්ලට යට වී සිටි කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.



මෙලෙස මියගොස් ඇත්තේ, පන්නිපිටිය මාඹුල්ගොඩ සඳුන් උයන අංක 75/46හි පදිංචිව සිටි දිස්නා කල්‍යාණි රත්නායක (අවු. 68) නමැත්තියකි. මෙම කාන්තාවගේ සැමියා විදේශගතව ඇති බැවින් දියණිය හා මෙම කාන්තාව නිවසේ වාසය කරන අතර, එකම ඉඩමේ නිවාස දෙකක් ඇති අතර ඉන් එක් නිවසක් කුලී පදනම මත යුවළකට දී තිබේ. එම නිවසේ භාවිතය සඳහා අලුතින් නාන කාමර පද්ධතියක් ඉදිකිරීම නිසා පැරැණි වැසිකිළි පද්ධතිය අතහැර දමා තිබූ අතර මෙම කාන්තාව එම වලෙහි ආවරණයට යොදවා තිබූ පැරණි කොන්ක්‍රීට් ලෑලි 02 කඩාවැටී මෙම අනතුරට ලක්ව තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය විය.

මෙම කාන්තාව සහ සුනඛයා කොන්ක්‍රීට් ලෑලි මතින් ඇවිදගෙන යාමේදී එහි ලෑලි දෙකක් කඩාවැටීමෙන් වළට වැටී අඩි දෙකක් පළල කොන්ක්‍රීට් ලෑලි දෙක කාන්තාවගේ සිරුර මතට වැටී ඇය ඊට යට වන්නට ඇති බවට පොලීසිය සැක කරයි. මේ අතර කුලී පදනම මත වාසය කරන යුවළ රාත්‍රී 07 පමණ සේවය නිමවා නිවසට පැමිණී අවස්ථාවේදී වැසිකිළි වළ දෙසින් සුනඛයා කෑ ගසනු හඬ ඇසී විපරම් කර බැලීමේදී නිවසේ සුනඛයා වළට වැටී කෑ ගසමින් සිටිනු දැක තිබේ.



පසුව එම පුද්ගලයා සුනඛයා ගොඩට ගැනීමට උත්සාහ කිරීමේදී කොන්ක්‍රීට් ලෑල්ලට යටින් කිසියම් පුද්ගලයෙකු පාදයක් තිබෙනු දැක බිය වී කෑ ගැසීමත් සමග අසල්වාසීන් එම ස්ථානයට පැමිණ කොන්ක්‍රීට් ලෑල්ල ඉවත් කර බැලීමේදී නිවසේ කාන්තාව ඊට යට වී සිටිනු දැක තිබේ. පසුව එම කාන්තාව වැසිකිළි වලෙන් ගොඩට ගෙන හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිර්මෙන් පසුව එහි වෛද්‍යවරුන් කාන්තාව පරීක්ෂා කොට පවසා ඇත්තේ ඇය මියගොස් ඇති බවයි.සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතා ඇතුළු නිලධාහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න