hot-temparature

දිස්ත්‍රික්ක හයක ඇතැම් ස්ථානවල අද (22දා) මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සදහන් කරයි.



පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්වල මෙම තත්ත්වය පැවැතිය හැක. මේ නිසා අදාළ දිස්ත්‍රික්වල වැඩිහිටි හා රෝගී ජනතාව පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්, කුඩා ළමයින් වාහන තුළ තනියම රදවා නොයන ලෙසත් ඉල්ලා සිටියි.

වැඩබිම් තුළ සේවය කරන පිරිස් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්,

අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායු ගෝලිය ආර්ද්‍රතාව සහා උපරිම උෂ්ණත්ව අගය යොදා ගනිම්න් සකස් කළ උණුසුම් දර්ශකයට අනුව මෙම ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වයන් පිළිබඳ අගයන් සකස් කර තිබේ.

මෙම දර්ශකයට අනුව 27 - 38 දක්වා අගය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන අතර 39 - 45 දක්වා අගය අවධානය යොමුකළ යුතු මට්මේ පවතී. 46 -52 අතර අගය වැඩි අවධානය යොමුකළ යුතු මට්මේ පවතින අතර 52ට වැඩි වන අවස්ථාවලදී අනතුරුදායක තත්ත්වයක් ලෙස සලකනු ලබයි.

මෙම අගයන් වායු ගෝලීය උෂ්ණත්වය නොවන බවත්, මෙය ශරීරයට දැනෙන තත්ත්වයක් බවත්, අවධානය යොමුකළ යුතු මට්ටමේදී වැඩිවේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් තෙහෙට්ටු විය හැකි බවත්, තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා මස්පිඩු පෙරළීම ඇතිවිය හැකි බවත් සඳහන් කරයි.


ඉන්දික හේවාවිතාරණ