
මව මිය ගියාට දැඩි සොවින් පසුවූ ඇගේ පුත්‍රයාද මව මිය ගොස් පැය කිහිපයකට පසු හදිසි හෘදයාබාධයකින් මිය යාමේ සිද්ධියක් ඉදුරුව ප්‍රදේශයෙන් වාර්තා වේ.මිය ගොස් ඇත්තේ ඉදුරුව අකාඩේගොඩ ගල්දරමුල්ලේ පදිංචිව සිටි මැටිල්ඩා පරණමාන්න නමැති 71 හැවිරිදි සත් දරු මව සහ ලක්සිරි කොට්ටහච්චි නමැති 47 හැවිරිදි පුත්‍රයාය. ඔහු එක් දරු පියෙකි.
මව සමග ඉතා ආදරයෙන් සිටි මෙම පුත්‍රයා ඉකුත්දා සිය මව අසනීපව නිවෙසේදීම මිය යාමෙන් බෙහෙවින් කම්පනයට හා ශෝකයට පත්වී සිටි බව පවුලේ සාමාජිකයෝ පැවසූහ.මවගේ දේහය නිවෙසට ගෙන ඒමෙන් පසු පුතා රාත්‍රී ආහාර ගනිමින් සිටින විට පපුවේ හටගත් වේදනාවකින් පසු ඔහු ගෝනගල රෝහලට ගෙන යන විටත් මිය ගොස් සිටි බව ද ඔවුහු ප්‍රකාශ කළහ.
බලපිටිය රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය පැවැත් වූ ඌරගස්මන්හන්දිය හදිසි මරණ පරීක්ෂක ඒ.ඩබ්ලිව්.එච්. ජයරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙය හෘදයාබාධයකින් සිදුවූ හදිසි මරණයක් බව තීරණය කළේය.
මව හා පුතු දෙදෙනා එකිනෙකාට පුදුම ළෙන්ගතුකමකින් හා සෙනෙහසකින් පසුවූ බව මියගිය මවගේ මුණුපුරකු වන තිමන්ත ලක්ශාන් පැවැසීය. මවගේ සහ පුතුගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පෙරේදා (24) සවස ඇටවලවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
ජේ. ඉදුරුවගේ
Comments
Post a Comment
Your comment will be visible after approval