karandeniya-phi-murder

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතා කුරුදුගහවත්ත දිවිතුරුගම ඔහුගේ නිවසේදී ඊයේ (26) උදේ 7.35 ට පමණ වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇල්පිටිය පොලිසිය සඳහන් කරයි.වෙඩික්කරුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් බවට හෙළි වී ඇතැයි ස්ථානීය පරීක්ෂණ පැවැත් වූ නිලධාරීහු පවසති. මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආහාර සෞඛ්‍ය සම්බන්ධයෙන් දේශන පවත්වන්නකු වන අතර ඔහු යූටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නැතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මිය යන විට 51 හැවිරිදි වියේ පසු වූ රොෂාන් කුමාර මහතා තිදරු පියකු බවද පොලිසිය කියයි.ඇල්පිටිය ශාන්ත තෙරේසා විදුහලේ පළමු වසරට තම බාල පුත්‍රයා බාරදීම සඳහා සූදානම් කරමින් සිටිය දී වෙඩික්කරුවන් දෙදෙනා හදිසි අවශ්‍යතාවක් බව පවසා නිවෙසට ඇතුළු වී මෙම වෙඩි තැබීම කර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.



මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බිරිය ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක ලෙස සේවය කරන අතර වෙඩි තැබීම වන විට ඇය පාසලට පිටත්ව ගොස් සිටි බව කියති.මියගිය සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය, අම්බලන්ගොඩ සහ කරන්දෙණිය යන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවලට අනුයුක්තව සේවය කර ඇති බවද පොලිසිය කියයි. හෙතෙම තම රාජකාරිය අකුරට කළ පුද්ගලයෙකු බවත් ප්‍රදේශයේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ කිසිවකු සමග හෝ ආරවුලක් ඇති කරගෙන නොතිබුණු බවත් හෙළිවී යැයි පොලිසිය සඳහන් කරයි.ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් සී.සී. ටී.වී දර්ශන පරීක්ෂා කරමින් පරීක්ෂණ පවත්වමින් සිටී.ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම් පෙරුම මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රතාත් පරීක්ෂණය කළාය.


කූඹියෙකුටවත් වරදක් නොකළ මගේ මහත්තයාට මෙහෙම අපරාදයක් කළේ කවුද දෙවියනේ. දෙවියකු වගේ හිටිය මහත්තයා මරන්න කාටද ඕනෑවුණේ යැයි සාහසික වෙඩි පහරින් මිය ගිය කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ බිරිය වන ඇල්පිටිය ඇල්ල ශාසනචන්ද විදුහලේ ආචාරිණී අයිෂිකා ඉන්දුනී කාහිංගල මහත්මිය හඬා වැළපෙමින් කීවාය.



මගේ මහත්තයා දරු තුන් දෙනාට පණ වගේ ආදරෙයි. අනේ මගේ දරු පැවටු තුන්දෙනා දැන් කොහොමද දෙවියනේ මේ තාත්තා නැතිව ඉන්නේ. අපි හරිම නිදහසින් අපේ පාඩුවේ ජීවත් වුනේ. මගේ දරුවන්ට දැන් තාත්තා කෙනෙක් කෝ?. ඇය හඬා වැලපෙන්නේ මුළු කුරුඳුගහහැතැප්ම ඉසව්වම කම්පා කරමිනි. මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරට ඊයේ දවසේ විශේෂ රාජකාරියක් පැවරී තිබුණේය. ඒ රාජකාරි කටයුත්තකට එහා ගිය කාර්යයකි. ඒ සිය පවුලේ බඩ පිස්සා වන චූටි පුතු කුරුඳුගහහැතැප්ම විදුහලේ එක වසරට භාරදීමටය.

රොෂාන් කුමාරගේ දරුවෝ දෙදෙනෙක්ම මේ වනවිට පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්ව කොළඹ විදුහල් දෙකක ඉගෙනුම ලබති. දාහතර හැවිරිදි ලොකු දුව කොළඹ විශාකා විදුහලේත් දෙවැනි පුතා කොළඹ ආනන්ද විදුහලේත් අධ්‍යාපනය හදාරති.

බඩ පිස්සාද පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් කරවා ඔහුද අක්කා සහ අයියා මෙන් කොළඹ ලොකු ඉස්කෝලයකට දැමීමේ බලාපොරොත්තුවෙන් රොෂාන් කුමාර හා හා පුරා ගමේ පාසලට භාරදීමට කටයුතු කරමින් සිටියේය.

ඒ සමගම රාජකාරියක් සඳහා යැයි කියමින් යතුරුපැදියෙන් ඔහුගේ නිවෙසට පැමිණි දෙදෙනෙකු ගෙන් එක් අයකු සඟවා සිටි ගිනි අවියෙන් උණ්ඩ හතරක්ම රොෂාන් කුමාරගේ ළය හරහා යැව්වේ ඔහු සදහටම සිය නිවස තුළම නිහඬ කරවමිනි.

ඝාතනය වූ රොෂාන් කුමාර කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරිකෂකවරයා පමණක්ම නොවේ. ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයාද වෙයි.

කරන්දෙණිය කුරුඳුගහහැතැප්ම, දිවිතුර පාර සිය නිවෙසේදී නාඳුනන තුවක්කුකරුවන්ගේ බිල්ලක් වීමට හේතුව මේ වනවිට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.



ඒ ඔහු ඝාතනය කිරීමට තරම් හේතුවක හෝඩුවාවක් වත් නොතිබෙන නිසාය.

නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් මිය ගිය රොෂාන් කුමාරගේ බිරිය වන අයිෂිකා ඉන්දුනී ගුරු මහත්මිය හඬමින් වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.

මහත්තයා රාජකාරිය දේවකාරියක් කරගෙන ජීවත්වුණු කෙනෙක්. නීතිය හරියටම අකුරටම කළා. කාගෙන්වත් කාටවත් දොසක් කියන්න රාජකාරිය කළේ නැහැ. රාජකාරි කරන තැන්වල අයත් එයත් එක්ක බඩ බැඳගත්ත වගෙයි. ඒ අයත් සමග සහෝදරයන් වගෙයි ජීවත්වුණේ.

ගෙදර දොරේ වැඩ කටයුතුත් නොපිරිහෙලා කළා. මොනම දෙයකින්වත් අඩුපාඩු කළේ නැහැ. අද එයා හරිම සතුටින් හිටියේ පොඩි පුතා පාසලට භාර දෙන මුල් දවස නිසා. නිතරම කිව්වේ දරුවන්ට හොඳට උගන්වන්න ඕනෑයි කියලයි. මොන දුකක් විඳලා හරි අපි දරුවන්ගේ ඇස් පාදමු කියලා එයා නිතරම කිව්වා.

එයා කවදාවත්ම කාටවත්ම වැරැද්දක් කරන කෙනෙක් නම් නෙමෙයි. මේ මුළු ගමම ඒකට සාක්ෂි කියයි.

මේක මහා මහ පොළොව නුහුලන අපරාධයක්. මගේ මහත්තයාට මෙහෙම දෙයක් කරන්න කාටද වුවමනා වුණේ. මොන හේතුවකටද ? මම නම් හිතන්නේ මේක වැරදිලා කරපු එකක් කියල යැයි ඇය නොනවත්වාම කියාගෙන ගියේ අසල සිටි අයගේද දෙඇස් කඳුළින් තෙත් කරවමිනි.

ඇයට මෙන්ම අවට අයටද පොලිසියටද මෙම ඝාතනය විශාල ගැටලුවක් වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර දැනගන්නට තරම් වරදක් කළ අයකු නොවන නිසාය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර රාජකාරියට ගියවිට අත යට මුදලට නීතිය කිසි විටෙකවත් නොනැව්වේය. නීතිය හරියටම කළේය.

කාටවත් කරදරයක් නොවූ ඔහු ගත් වැටුපට ණයක් නොවී රාජකාරි කළ ඝාතනයට හේතුවත්, ඝාතකයන් කවුදැයි යන්නත් ඉදිරියේදී හෙළිවන තෙක් එය අබිරහසක්ව පවතිනු ඇත.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා