katunayake-airport-strike

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පරුෂ වචනයෙන් සිදු කෙරෙන බැන වැදීම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි යැයි  පවසමින් අද(25 ) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් හදිසි , ක්ෂණික වැඩ වර්ජනයක නිරත වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පැවසීය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට මේ දක්වා ප්‍රමාද වී ඇත.


භූමි කාර්ය මණ්ඩලය (ground staff) සිය රාජකාරි කිහිපයක් ඉටු කිරීමෙන් වැළකී සිටීම නිසා මෙම ප්‍රමාදය සිදු වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුවන් තොටුපල සේවකයන් විසින් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් එවැන්නක් නැතයි කියමින් අද (25) දින සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සේවයද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ප්‍රමාදයන්, තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් මිස කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බව ද එම සමාගම දන්වා තිබේ.


ප්‍රමාදයන් නිසා ඇති වූ අපහසුතාව පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සියලු මඟීන්ගෙන් සමාව අයදින බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.
නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරන බව ද දක්වා තිබේ.

මෙම හදිසි වැඩ වර්ජනය 02/25 දින අලුයම 04.30 ට පමණ ආරම්භ වූ අතර එනිසා කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි , හයිද්‍රාබාද් , බංග්ලාදේශයේ ඩකා සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා ප්‍රමාද වීමකට ලක් වී තිබුණි.
වාර්තාවන පරිදි පැය දෙකකට පසු උදෑසන 06.30 පමණ වනවිට වර්ජනය නිමාවට පත් වූ අතර , එනිසා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දිගු පෝලිම් ඇති වී තිබුණි .