විදුලි පන්දමක් අතැතිව දුම්රිය අනතුරකින් මිය ගිය සැමියාගේ දේහය බාර ගැනීම ප්‍රතික්ෂේප කර විදුලි පන්දම පමණක් රැගෙන ගිය තිදරු මවක සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී ඉකුත් 14 වැනිදා වාර්තා විය.
අනතුරට මුහුණ දුන් තැනැත්තා 48 හැවිරිදි පුද්ගලයකු වන ඔහු සමග මීට වසර 23 ට පමණ ඉහතදී විවාහ වී කාන්තාවගේ නිවෙසේ පදිංචියට ගොස් ඇත.
මොවුන් දෙදෙනාට දරුවකු හා දැරියන් දෙදෙනකු සිටින බව හදිසි මරණ පරීක්ෂණයේදි හෙළිවිය.
බිරිය හා දරුවන් තිදෙනා අතහැර දමා මෙම තිදරු පියා 2021 වර්ෂයේ යළි උපන් නිවෙසට පැමිණ ඒ ආසන්නයේ තනා තිබුණු නිවෙසක කුලී වැඩ කර උපයා ගන්නා මුදලකින් කා බී තනිවම නිවෙසේ ජීවත් වෙමින් සිට ඇති බවත් හෙළිවිය.
කුලී වැඩක් කර මත්පැන් පානය කර සිටි මොහු විදුලි පන්දම ද අතැතිව නිවෙසට යාමට රාත්‍රි 9.30 ට පමණ දුම්රිය මාර්ගය ආසන්නයෙන් ආරම්භ කරන අඩි පාර ආසන්නයට පැමිණ ඇත.
නිවෙසට යාමට අඩි පාර ආරම්භ කරන දුම්රිය පාරේ වාඩිගත් තිදරු පියා රඹුක්කන බලා ධාවනය වෙමින් තිබුණු දුම්රිය ඇන්ජිමක ගැටී ඇතැයි අනාවරණය විය.
දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයෙන් පිටතට විසි වී මුනින් අතට වැටී ඇතැයි මරණ පරීක්ෂණයේදි හෙළිවිය.
ප්‍රදේශවාසීන් රඹුක්කන පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව රඹුක්කන හදිසි මරණ පරීක්ෂක ඩිල්ෂාන් කන්දේමුල්ල මහතා හා පොලිස් නිලධාරියෙක් අනතුර සිදුව තිබූ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු කර දේහය ප්‍රදේශයේ අවමංගල්‍ය රථයකින් 14 වැනිදා පාන්දර කෑගල්ල මහ රෝහලට බාර දී ඇත.
අනතුරින් මිය ගොස් සිටි පුද්ගලයාගේ බිරිය හා ඥාතීන් හඳුනාගෙන ඔවුන් ගෙන්වා හදිසි මරණ පරීක්ෂණය ඉකුත් 14 වැනිදා පෙරවරුවේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී සිදු කෙරිණ. එහිදී හදිසි මරණ පරීක්ෂණයට පෙනී සිටීමට පැමිණ සිටි බිරියට හදිසි මරණ පරීක්ෂකවරයා අනතුර සිදුව ඇති ආකාරය හා මේසය මත තිබුණු විදුලි පන්දමක් පෙන්වා පවසා ඇත්තේ එය සැමියා අසල දැල් වෙමින් තිබුණු අවස්ථාවේ තමා ඉදිරියේදී පොලිස් බාරයට ගෙන තිබුණු බවය.
එහිදී බිරිය කියා ඇත්තේ සැමියා බීමත්ව පැමිණෙන සෑම දිනකම තමන්ට බැණ පහර දෙන බවත් එය දුටු දරුවන් තිදෙනාට ද පියා එපා වූ අවස්ථාවේ දී සැමියා 2021 වසරේදී යළි මහ ගෙදර නිවෙන පැමිණි බවයි.
තමා දික්කසාද වී නොමැති බවත් දේහය බාර ගැනීමට නොහැකි බවත් පවසා හදිසි මරණ පරීක්ෂකවරයාගේ මේසය මත තබා තිබුණු විදුලි පන්දම ගෙන පුටුවෙන් නැගිට යාමට සූදානම් වී ඇත. එහිදී හදිසි මරණ පරීක්ෂක ඩිල්ෂාන් කන්දේමුල්ල මහතා තමා සැමියාගේ දේහය බාර ගැනීම ප්‍රතික්ෂේප කර විදුලි පන්දම පමණක් රැගෙන යාමට ඇති හේතු පැහැදිලි කරන ලෙස විමසීමක් කළේය.
එහිදී තිදරු මව කියා ඇත්තේ දේහය රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරිමට ශක්තියක් නොමැති බවයි. ඉන්පසු බිරිය සිය දරු තිදෙනා සමග එතැනින් පිටව ගොස් ඇත්තේ විදුලි පන්දමද රැගෙන බව අනාවරණය විය.
කෑගල්ල චමින්ද වැවතැන්න
0 Comments