keheliya-flower-case

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබා සාපරාධී බියගැන්වීමක් කළේ යැයි කියන සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා රුපියල් විසිපන්දහසක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (05) නියම කළේය.



නීතිඥ රසික සංජීව මහතා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේ ඇප මත මුදා හැරිණි.

අමාත්‍යවරයාගේ දියණිය කළ පැමිණිල්ලකට අනුව කුරුඳුවත්ත පොලිසිය වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.



නීතිඥ රසික සංජිව මහතා ගොනු කළ මෝෂමකට අනුව මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී තම සේවාදායකයාට එරෙහිව පවරා ඇති මෙම නඩුව පවත්වාගෙන යෑමට තරම් කරුණු නොමැති හෙයින් සිය සේවාදායකයා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

තම සේවාදායකයා පැමිණිලිකාරිය සාපරාධී බියගැන්වීමකට ලක් කිරීමක් හෝ අයුතු අවහිර කිරීමක් හෝ නින්දා සහගත අපහාසයක් කර නැතැයි කී නීතිඥ රසික සංජීව මහතා තම සේවාදායකයා එලෙස කටයුතු කළ බවට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැමිණිල්ලක් කර නැතැයි ද කීය.



කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෛද්‍ය චමල් සංජිව නමැත්තා මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර නැතැයි සඳහන් කළේය.

කුරුඳුවත්ත පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර අවසන් බවත්, චමල් සංජීව සැකකරුවකු ලෙස නම් කිරීමට නියමිත බවත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වෛද්‍ය චමල් සංජීව නමැත්තා සැකකරුවකු ලෙස නම් කරන බව පොලිසිය දැනුම් දෙන හෙයින් ඔහු මුදාහැරීමට නොහැකි බව පෙන්වා දෙමින් ඔහුට පෞද්ගලික ඇපයක් නියම කිරීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගය මාර්තු 11වැනිදා පැවැත්වීමටද නියම කළේය.

 රෝෂන් තුෂාර